රාජිතගේ අපේක්ෂිත ඇප අයදුම්පත විභාගය ලබන 30 (වීඩියෝ)

දෙසැ 23, 2019
  • රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කරයි.

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 30 දා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(23) තීන්දු කර තිබේ.

    ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට මේ මස 30 වනදා ඊට අදාළව කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද නියම කළේය.

    පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අද අධිකරණය හමුවේ කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කියා සිටියේ තම සේවාදායකයා දණ්ඩ නීති සංග්‍රහයේ 485 සහ 192 යන වගන්ති යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන බවයි.

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ තම සේවාදායකයා හමුවීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සුදු වෑන්වලින් සිදුකළ පැහැරගැනීම් හා ප්‍රභාකරන්ගේ රත්තරන් පිළිබඳව තොරතුරු තමන් දන්නා බවට ප්‍රකාශ කළ බවත් ඒ අනුව ඔවුන් මාධ්‍ය හමුවක් වෙත යොමු කිරීම පමණක් තම සේවාදායකයා සිදුකළ බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

    එම මාධ්‍ය හමුවේ දී අදාළ පුද්ගලයින් දෙදෙනා සිදුකළ ප්‍රකාශයවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තම සේවාදායකයා කිසිවක් නොදන්නා බවයි ජනාධිපති නීතිඥ බණ්ඩාර මහතා කියා සිටියේ.

    ඉන්පසුව මෙම පුද්ගලයින් දෙදෙනා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් බරපතළ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ බණ්ඩාර මහතා සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සහ ප්‍රභාකරන්ගේ රත්රන් පිළිබඳව තමන් මාධ්‍ය හමුවේ කරුණු ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ පෙළඹවීම මත බවට එම පුද්ගලයින් දෙදෙනා රහස් පොලිසියට ලබාදී ඇති කට උත්තරවල සඳහන් කර ඇතැයි ද පවසා ඇත.

    ඒ අනුව අදාළ තොරතුරු ප්‍රකාශ කිරීම වෙනුවෙන් රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා රුපියල් ලක්ෂ 20 ක මුදලක් තමන්ට ලබා දුන් බවත් ඇමරිකාවේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත් මෙම පුද්ගලයින් දෙදෙනා පොලිසියට ලබා දුන් කට උත්තරවල වැඩිදුරටත් සඳහන් වන බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    ඒ අනුව අපරාධකරුවන් දෙදෙනෙකු ලබාදෙන ප්‍රකාශ මත තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සූදානම් වන බවත් දේශපාලන විරුද්ධවාදිකම් මත තම සේවාදායකයාට අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ක්‍රියා කරන බවත් එබැවින් ඇප පනතේ 21 වන වගන්තිය යටතේ තම සේවාදායකයාට අපේක්ෂිත ඇපයක් ප්‍රදානය කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එහෙත් රහස්පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම විභාගයට ගැනීම සම්බන්ධයෙන් හා ඊට අදාළව නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙනුත් තමන් විරුද්ධ වන බවත් කියා සිටියේය.

    රහස් පොලිසිය විසින් තමන්වත් අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පෙත්සම්කරු විසින් ප්‍රකාශ කර ඇති වගන්ති පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ "බී" වාර්තා වේ ඇතුළත් කර නොමැති බවත් හුදු මනංකල්පිත සහ උපකල්පනය කරන ලද කරුණු මත පෙත්සම්කරු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

    එබැවින් මෙම පෙත්සමත් අදාළව නොතීසි නිකුත් කිරීමට තරම්වත් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් එය ප්‍රතික්ෂේප කරන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව තීරණය ප්‍රකාශයට පත්කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කර සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන්නේ කුමන වරදක් සම්බන්ධයෙන් ද යන්න අපේක්ෂිත ඇපයක් ඉල්ලීමේදී ඊට අදාළව ඉදිරිපත් කරන පෙත්සමේ නිශ්චිතව සඳහන් කිරීම අනවශ්‍ය බව සඳහන් කර සිටියේය.

    පොලිසිය විසින් බී වාර්තාවක් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක වුවද අපේක්ෂිත ඇපයක් ඉල්ලීමට පුද්ගලයෙකුට නීතිමය හැකියාවක් තිබෙන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඒ අනුව මෙම ඇප පෙත්සම ඇප පනතේ 21 වන වගන්තිය යටතේ අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙන බැවින් එය විභාග කිරීම සඳහා අවසර දෙන බව සඳහන් කළේය.

    ඒ අනුව විභාගය ලබන 30 වනදා සිදු කරන බවත් එදින ඊට අදාළව කරුණු දක්වන්නැයි දන්වා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා ඇතුළු නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා විසින් නොතීසි නිකුත් කිරීමටද නියම කළේය.

    තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ තෙවන අපේක්ෂිත ඇප අයදුම්පත මෙයයි.

    රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පළමුවන අපේක්ෂිත  ඇප අයදුම්පතක් ඉකුත් සිකුරාදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් පසුව එදින සවස ඔහු විසින් දෙවන අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කරනු ලැබීය. ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළව නව ලේඛන ද ඇතුළත් කොට රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද පෙරවරුවේ තුන්වන අපේක්ෂිත ඇප අයදුම්පතක් ද අධිකරණය හමුවේ ගොණුකර තිබිණ.




    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 20:02

    Latest News