අනුරාධපුර එපා දඹුල්ල ඕනේ ගම්මාන දෙකක ජනතාව මගට බහි

දෙසැ 22, 2019

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හබරත්තාවල සහ උලුකැටවැව ගම්මාන දෙකේ පරිපාලනය මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පවරා දෙන්නැයි ඉල්ලා එම ගම්මාන දෙකේ ජනතාව අද (22) දහවල් විරෝධතාවක නිරත වූහ.

    දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටා ඇති හබරත්තාවල සහ උලුකැටවැව ගම්මාන දෙකේ පවුල් හයසීයක, පුද්ගලයන් දෙදහස් පන්සියයක් පමණ ජීවත්වන බවත් පරිපාලන කටයුතු සඳහා කිලෝමීටර් 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් යා යුතුයැයි ඔවුහු පවසති.

    1980 වසර වනතුරුම හබරත්තාවල සහ උලුකැටවැව ගම්මාන පරිපාලනය මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබිණ. ඉන් පසුව සීමා නිර්ණ වාර්තා කොට මෙම ගම්මාන දෙක අනුරාධපුර දිස්ත්‍රික්කයට උතුරුමැද පළාතට අනුක්ත වූ බව ඔවුන් පවසති. ඒ සඳහා අවශ්‍ය පරණ ලියකියවිලි සාධක සහිතව ද උද්ඝෝෂණයට එක් වූ පිරිස පෙන්ව සිටියේය.

    උතුරුමැද පළාතේ දේශපාලන අධිකාරිය මේ පිළිබඳව කිසිඳු අවධානයක් යොමු නොකරන බවත් ප්‍රදේශයේ පාසලේ දරුවන්ට 11 වසරෙන් පසුව අධ්‍යාපනය අහිමි වන බව ද ඔවුන් පවසති.

    මෙම ගම්මාන දෙක උතුරු මැද පළාතෙන් ඉවත්කොට මධ්‍යම පළාතට නතු කර නොදන්නේ නම් ඉදිරි මැතිවරණවලදී කිසිම දේශපාලන පක්ෂයකට තමන් ඡන්දය ලබා නොදීමට තීරණය කර ඇතැයිද එම ගම්වාසීහු කියති. වසර 20 ක සිට සෑම ජනාධිපතිවරයෙකුටම රාජ්‍ය පරිපාලන ඇමතිවරයකුට සහ දේශපාලන අධිකාරියට දැනුම් දී ඇතත් මේ වන තුරු නිසි ප්‍රතිචාරයක් නොමැති තැන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීම නිසා තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමට කටයුතු කරන බව ද ගම්මුන් කියති .

    Latest News