මග නැවතුන මග නිසා ජනතාව අමාරුවේ

දෙසැ 22, 2019

    නාවලපිටිය, සමනළගම හරහා ඉගුරුඔයට පිවිසෙන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමේ වැඩ කටයුතු ආරම්භ කර එම සංවර්ධන කටයුතු මේ වන විට අතරමග නතර කර තිබේ.

    සංවර්ධනය කටයුතු සදහා භාවිතා කළ යන්ත්‍ර උපකරණ සියල්ලම කොන්ත්‍රාත්කරු විසින් නැවත රැගෙන ගොස් ඇති බව එම මාර්ගය භාවිතා කරන ප්‍රතිලාභින් කියා සිටින්නේ.නාවලපිටිය,මඤ්ඤොක්කාවත්ත,සමනළගම,ඉගුරුඔය යන ප්‍රදේශවල පදිංචි පවුල් 400 ක් පමණ මේ හේතුවෙන් අසිරුතාවයට පත්ව සිටිති.ඉකුත් රජයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම මාර්ගයේ කිලෝමීටර 7 ක් දුර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිම සඳහා රුපියල් ලක්ෂ 400 ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

    වසර 40 කට වැඩි කාලයක් එම මාර්ගය අබලන්ව තිබීම නිසා ප්‍රදේශවාසින් සිදුකළ උද්ඝෝෂනවලින් අනතුරුව මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමට ප්‍රතිපාදන වෙන් කෙරිණ.

    කොන්ත්‍රාත්කරු විසින් මාර්ගය කොන්ක්‍රිට් ගල් පමණක් අතුරා මාර්ගය පිළිසකර කර ඇතත්, ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග බිම අතුරා තිබු කොන්ක්‍රිට් ගල් සේදි ගොස් එම මාර්ගයේ ස්ථාන කිහිපයකම මාර්ගයේ කොටසක් නායගොස් ඇති අයුරු ද දක්නට ලැබේ.

    කොන්ත්‍රාත්කරුගෙන් අප කල විමසුමක ඔහු කියා සිටියේ එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමට වෙන් කල ප්‍රතිපාදන තමන් වෙත නොලැබෙන නිසා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම අතරමග නතර කල බවයි.

    එම ප්‍රතිපාදන ලැබෙන්නේ නම් එම මාර්ගයේ සංවර්ධන කටයුතු යළි ඇරඹිය හැකි බව ද ඔවුන් පවසයි.
    එම මාර්ගය භාවිතා කරන මහ සංඝරත්නය සහ ප්‍රදේශවාසින් කියා සිටින්නේ ජනාධිපතිවරණයට ප්‍රථම එම මාර්ගයේ සංවර්ධන කටයුතු නතර කල බවත්, වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය මේ පිලිබඳව යොමු කර අදාළ මාර්ගය කඩිනමින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 13:31

    Latest News