මත්ද්‍රව්‍ය ඇබ්බැහි වු ලක්ෂ පහක් පුනරුත්ථාපනය හම්බන්තොටින් ඇරඹේ: පා.ම. නාමල්

දෙසැ 19, 2019

    රට පුරා සිටින මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් ලක්ෂ පහක් පමණ පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩ සටහන ලබන වසරේ හම්බන්තොටින් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය වසරකට හාරදාහක් පමණක් කිරිමට පහසුකම් පැවැතිම බරපතල ගැටලුවක් බව ඔහු කියා සිටියේය. රට පුරා සිටින ලක්ෂ 5කට ආසන්න තරුණ තරුණියන් පුනරුත්ථාපනය කොට රැකියා ගැන්වීම ප්‍රධාන අරමුණ බව හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමට සහභාගිවෙමින් එහි සභාපති නාමල් රාජපක්ෂ මහතා අවධාරනය කළේය.

    නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයට පසුගිය රජය සමයේ බඳවා ගන්නා ලද සේවකයින් ස්ථිර කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදාරච්චි මහතා ඉල්ලීමක් කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධන අධිකාරි ප්‍රධාන කාර්යාලය සිටින සේවකයින් සඳහා වසරකට රුපියල් මිලියන හාරසිය අසූවක් වැටුප් ගෙවීමට අවශ්‍ය බවත් නිවාස ඉදිකිරීම සඳහා වසරකට රුපියල් මිලියන 311 ක් වෙන්කර තිබිමත් විශාල ගැටලුවක් බව ඊට පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුනී.

    සේවකයින් දහයක් දොළහක් අවශ්‍ය තැනට අලුතෙන් කොන්ත්‍රාත් පදනමට සේවකයින් 2000ක් නඩත්තු කිරීම විශාල ගැටලුවක් වී ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය. කිසිවෙකුට අසාධාරණයක් නොවන පරිදි මෙම ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගන්නා බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ කොමිසමෙන් මේ බව හෙලිවි ඇතැයි ඔහු පෙන්වා දුනි. හිටපු අමාත්‍යවරයා වෙත එම කොමිස මගින් ද වරද පවරා ඇති බව නාමල් රාජපක්ෂ මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

    2015 වසරේ ආරම්භ කළ හම්බන්තොට කවෂීමා කොම්පෝස්ට් ව්‍යාපෘතිය 2020 ජනවාරි මස විවෘත කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    Latest News