නව සභාපති ගැන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

දෙසැ 17, 2019

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සමූහයේ අභිනව සභාපති ලෙස අශෝක් පතිරගේ මහතා පත් කර තිබේ.

    මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන අශෝක් පතිරගේ මහතා සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පී.එල්.සී හි නිර්මාතෘවරයා මෙන්ම වත්මන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාය. ඊට අමතරව හෙතෙම අසිරි හොස්පිට්ල් හෝල්ඩින්ස් පී.එල්.සී, සොෆ්ට්ලොජික් කැපිටල් පී.එල්.සී, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී සහ ඔඩෙල් පී.එල්.සී ඇතුළු පිළිගත් සමාගම් ගණනාවක සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. මෙම සමාගම් සියල්ලම කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති පොදු සමාගම් වේ. එසේම ඒ මහතා එන්.ඩී.බී කැපිටල් හෝල්ඩින්ස් ලිමිටඩ් හි සභාපති සහ ජාතික සංවර්ධන බැංකුපී.එල්.සී හි උප සභාපති ද වේ.

    සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පී.එල්.සී යනු සමාගම් 50 කට වැඩි ගණනකින් සමන්විත සමාගමකි. අද වන විට සේවකයින් 10,000 කට අධික සංඛ්‍යාවක් සිටින මෙහි වාර්ෂික ආදායම රුපියල් බිලියන 75 ඉක්මවයි. ජාතික ආර්ථිකයේ වේගයෙන් වර්ධනය වන බොහෝ අංශවල ශක්තිමත් පැවැත්මක් ගොඩනඟා ඇති මෙම සමාගම සෞඛ්‍ය සේවා, මූල්‍ය සේවා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, විවේකීය ස්ථාන සහ මෝටර් රථ යන ව්‍යාපාර අංශ වලින් සමන්විත වේ.

    Latest News