ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතා

ඔක් 12, 2022

    2019 වසරේ සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම හිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මූලික විරෝධතාවක් මතු කරමින් මෙම නඩුවට අදාළ චෝදනා දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 190 යටතේ ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.

    එම වගන්ති වලට අනුව අදාළ අධිචෝදනා පත්‍රය බැලූ බැල්මටම පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

    ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ එම චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙන බවයි.

    අනතුරුව නඩුව නැවත නොවැම්බර් 8 වනදා කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මූලික විරෝධතා වලට අදාල ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසත් පාර්ශවකරුවන්ට නියෝග කළා.

    2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ කුරුදුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් කණ්ඩායමක් තමන්ම පැහැරගෙන ගොස් තර්ජනය කොට ලිංගික හිරිහැර සිදු කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා කරමින් අදාළ විත්තිකාරිය ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News