දෙමව්පියන් අහිමි වන සියලු දරුවන් මින් ඉදිරියට සුරක්ෂිතයි

දෙසැ 16, 2019

    කවර ආකාරයකින් හෝ දෙමව්පියන් අහිමි වන සියලු දරුවන් මින් ඉදිරියට සුරක්ෂිත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    එම නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් රජය විසින් නොමිලේ හදුන්වා දී ඇති සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මගින් සිසුන්ට තම මවගේ හෝ පියාගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් හිමිවන අතර, මෙතෙක් එම රැකවරණ ප්‍රතිලාභය හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයක දී පමණි.

    එහෙත් ඉදිරියේ දී කවර ආකාරයකින් හෝ සිදුවන සෑම දෙමව්පිය අහිමිවීමක දී ම දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙනයාමට ශක්තියක් ලබාදෙමින් නියමිත රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    ඒ අනුව, 2019-12-01 දින සිට ඉදිරියට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම පාසල් දරුවෙකුට තම මවගේ හෝ පියාගේ කවර ආකාරයක හෝ අහිමිවීමක දී (සියදිවි නසාගැනීම් වැනි හේතු මත) සුරක්ෂා රක්ෂණාවරණය මගින් අදාළ රක්ෂණ ආයතනය සමග එක් ව රුපියල් ලක්ෂ දෙකක ප්‍රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

    දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන සියලුම පාසල් දරුවන් වෙත නොපමාව ලබා දීම රජයේ අරමුණ වන අතර, සුරක්ෂා ප්‍රතිලාභ ලබා ගැනීමේදී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටළුවක් මතු වේ නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ , 0112784163, 0113641555, 0112784872 යන දුරකථන අංකවලට අමතා ඒ සම්බන්ධව දැනුම් දීමට ද අවස්ථාව සලසා තිබේ.

    Latest News