ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ නඩුවට අදාළව මාධ්‍යවේදිනියකගේ පරිගණකයක් පරීක්ෂාවට

ජූනි 16, 2020

    මෑතකදී කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ කරුණු මත අත්අඩංගුවට ගන්නා ලද සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනි දරීෂා බැස්ටියන් මහත්මියට අයත් ලැප්ටොප් පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත, අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඉකුත් 09 වන දා සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ සේවය කළ හිටපු මාධ්‍යවේදිනියක වන දරීෂා බැස්ටියන්ට අයත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් තම භාරයට ගත් බව කියා සිටියා.

    නාරාහේන්පිට, පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එම මාධ්‍යවේදිනියගේ මාමණ්ඩියගේ භාරයේ තිබූ එම පරිගණකය අත්අඩංගුවට ගත් බව සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කරන ලෙස ඉල්ලා සිටියා.

    එම අවස්ථාවේ දෑනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි නීතිඥ ශිරාස් නූර්දීන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ලැප්ටොප් පරිගණකය අත්අඩංගුවට ගනු ලැබූයේ මේ මස 09 වනදා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කලත් එය සෝදිසි වරෙන්තුව ලබා ගැනීමට පෙර එනම් ඉකුත් 04 වනදා පොලිසිය තම භාරයට ගෙන තිබූ බව සඳහන් කළා.

    මෙම තත්ත්වය මත අදාල පරිගණකය තුල තිබෙන දත්ත වෙනස් කිරීමකට භාජනය කිරීමට ඉඩ කඩ ඇතැයි සැකයක් මතු වී තිබෙන හෙයින් ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමුකර සිටින බවද නීතිඥ නූර්දීන් මහතා අධිකරණයට දන්වා සිටියා.

    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ ලැප්ටොප් පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට නියෝග කළා.

    මීට අමතරව ජුනි මස 04 සිට 10 වනදා දක්වා කාල සීමාව තුළ අදාල පරිගණකය තුල අන්තර්ගත දත්ත කිසියම් වෙනස් කිරීමකට භාජනය වී තිබේදැයි යන්න සොයා බලා අතිරේක වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.

    ඊට අමතරව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම ලැප්ටොප් පරිගණකය පොලිසිය භාරයට ගත් දිනය නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා එය සන්තකයේ තබාගෙන සිටි බව කියන මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ගේ මාමණ්ඩිය වන උපාලි ඉන්ද්‍රගුප්ත නමැත්තාට මීළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසියක් නිකුත් කිරීමට ද නියෝග කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් එම නඩුවේ සැකකාරිය වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් තැනැත්තියට අයත් ජංගම දුරකථනය විශ්ලේෂණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් එහි විශ්ලේෂණ කටයුතු අවසන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඊට අදාළ වාර්තාව කැදවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාල දුරකථන විශ්ලේෂණ වාර්තා විමර්ශන අවසන් වී තිබේ නම් ඒවා අධිකරණය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් රජයේ රස පරික්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යොමු කළා.

    අනතුරුව පැමිණිල්ල ජූලි මස 21 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    Latest News