ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධියේ වැඩිදුර වාර්තාවක් නොවැ. 5 ඉල්ලයි

සැප් 08, 2020

    මෑතකදී කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් මස 05 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින සැකකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව මේවන විට සොයාගෙන තිබෙන පැය 607 කින් පමණ යුත් CCTV දර්ශන විශ්ලේෂණය කර වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවත් එම සම්පූර්ණ වාර්තාව ලබාදීම සඳහා මාස 10ක පමණ කාලයක් ගත වනු ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බවත් කියා සිටියා.

    මෙහිදී මහේස්ත්‍රාත්වරිය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැහැරගෙන යාම සිදු වූ බව කියන දිනයේ සැකකාර කාන්තාව බම්බලපිටිය පැල්මයිරා ප්‍රදේශයේ පිහිටි ඇයගේ හිතවත් ගුරුවරියකගේ නිවසකට යාම එතැන් පටන් ගාලුපාර ඔස්සේ මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණීම දක්වා වූ දර්ශන අඩංගු CCTV දර්ශන මීට ඇතුළත් වන බවයි කියා සිටියේ.

    මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ මෙම විමර්ශනයට ඉතා වැදගත් වන වීඩියෝ දර්ශන පමණක් විශ්ලේෂණයට ලක් කර වාර්තා ලබා ගැනීම සුදුසු බවයි.

    ඒ අනුව අදාළ පැහැර ගැනීම සිදු වූ බව කියන නොවැම්බර් මස 25 වනදා පැය යොදා 14:30 සහ 18.30 දක්වා වූ කාල සීමාවට අයත් වීඩියෝ දර්ශන පමණක් විශ්ලේෂණය කර වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැහැරගෙන යාම සිදු වූ දිනට පෙර සතියක පමණ කාලයකට අදාල වන CCTV වීඩියෝ දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා විශ්ලේෂණය කර වාර්තා කැඳවන ලෙස ඉල්ලා සිටියා.

    මෙහිදී මහේස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාට දන්වා සිටියේ මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ ඇයි ද? යන කාරණය පිළිබඳව මීළඟ නඩු දිනයේදී අවශ්‍ය දත්ත ද සමග ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසයි.

    අනතුරුව පැමිණිල්ල නැවත නොවැම්බර් මස 5 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    Latest News