මධ්‍යම අධිවේගයට ඉඩම් අහිමි වුවන්ට නියමිත වන්දි නොගෙවූ බවට චෝදනාවක්

දෙසැ 11, 2019

    මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් අහිමි වූ ඉඩම් වෙනුවෙන් පසුගිය රජය විසින් නියමිත වන්දි මුදල් නොගෙවූ බව අධිවේගී මාර්ගයට ඉඩම් අහිමිවූවන්ගේ සංගමයයි.

    මධ්‍යම අධිවේගී මාර්ගයට ඉඩම් අහිමිවූවන්ගේ සංගමය අද (11) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව කියා සිටියේය.

    මෙම මාධ්‍ය හමුවට මධ්‍යම අධිවේගී මාර්ග අදියර 1,2,3 යටතේ ඉඩම් අහිමි වූ කුරුණෑගල, මීරිගම, ගලගෙදර ඇතුළු ප‍්‍රදේශ රැසක පදිංචිකරුවන් සහභාගි වුහ.

    මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ අධිවේගි මාර්ග සඳහා අත්කර ගත් ඉඩම් සඳහා ගෙවිය යුතු වන්දි සඳහන් ගැසට් පත‍්‍රයට අනුව ඉකුත් යහපාලන රජය ද ගෙවීම් කරන බවට මුලින් පොරොන්දු වුවත් පසුව වෙනත් චක‍්‍ර ලේඛ ගෙන එමින් එම වන්දි මුදල් කප්පාදු කල බව ඔවුහු ප‍්‍රකාශ කලහ. එම නව චක‍්‍ර ලේඛ හේතුවෙන් තමන්ගේ ඉඩම් සඳහා ලැබිය යුතු මුදල් මහාපරිමාණයෙන් අහිමිවූ බවත් කුඹුරු ඇතුළු වෙනත් වගාවන් සඳහා මුදල් නොලැබුනු බවත් මාධ්‍ය හමුවේ දී ඔවුහු සඳහන් කළේය.

    එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ දී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඉතාමත් පහත් අන්දමින් අක‍්‍රමිකතා රැසක් සිදුකල බවත් මෙහිදි අනාවරණය කෙරිණ. නිවාස, ඉඩම් ඇතුළු තමන්ට අහිමිවූ දේපොල වෙනුවෙන් වහා ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

    Latest News