අ.පො.ස. (සා.පෙළ) අද ඇරඹේ

දෙසැ 02, 2019

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (02) ආරම්භ වේ.

    එය අවසන් වන්නේ ලබන 12 වැනිදා. මෙවර අපේක්‍ෂකයන් හත්ලක්‍ෂ දාහත්දහස් අට දෙනෙකු විභාගයට පෙනී සිටී. පාසල් අයදුම්කරුවන් හාර ලක්‍ෂ තිස්තුන් දහස් පනහක් හා පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්‍ෂ අසූතුන් දහස් නමසිය පනස් අටක් ඊට ඇතුළත්. විභාග මධ්‍යස්ථාන හාරදහස් නමසිය අසූහතක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් විභාගය සඳහා පිහිටුවා තිබේ. විභාගය අද උදේ 8.30ට ආරම්භ වන අතර පස්වරුවේ විභාගය ආරම්භ වන්නේ 1.00ටයි. සියලු අයදුම්කරුවන් විභාගය ආරම්භ කෙරෙන වේලාවට පෙර අවම වශයෙන් පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා දැනුම් දෙයි. අයදුම්කරුවන් සිය අනන්‍යතාව තහවුරු කිරීමට විභාග ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි.

    විභාගයට පැමිණිමට පෙර ප්‍රවේශ පත්‍රය හොඳින් පරීක්‍ෂා කොට තමන් අයදුම්කළ විෂයයන්, මාධ්‍යය සහ අත්සන් සහතික කිරීම් ආදී කරුණු පිළිබඳව තහවුරු කරගත යුතු වේ. එහි යම් වෙනසක් තිබේ නම්, ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට වහා දැනුම් දිය යුතුවේ. ඒ සඳහා 011-278 4208/011 278 4537/ 011 318 8350/ 011 314 0314 යන දුරකතන අංක භාවිතා කළ හැක. ජංගම දුරකතන හා වෙනත් විද්‍යුත් උපකරණ විභාග මධ්‍යස්ථාන තුලට රැගෙන ඒම සපුරා තහනම්. විභාගය සම්බන්ධ සෑම පැමිණිල්ලක් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදා තිබේ.

    විභාගය සම්බන්ධ අක්‍රමිකතාවක් හෝ වංචාවක් හෝ සිදුවන්නේ නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්‍ෂණික දුරකතන අංකයට දැනුම් දිය හැකි බව විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 07:30

    Latest News