වත්කම් හෙළි නොකිරීමකට අදාළ අමාත්‍ය විමල් වීරවංශගේ නඩුව ජනවාරි 27 ට කල්යයි

නොවැ 27, 2019

    අමාත්‍ය විමල් වීරවංශට එරෙහි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළ පිළිබඳ නඩුව ජනවාරි 27 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කරයි.

    අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් මුදල් හා දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ. එය අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි.

    එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අද දින පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වන බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

    ඒ අනුව නඩුව ජනවාරි මස 27 වනදා කැඳවීමට අධිකරණය නියම කර තිබේ.

    2010 වසරේ සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News