පා. ම. නාමල් රාජපක්ෂට විදේශ ගතවීමට අධිකරණයෙන් අවසර

නොවැ 26, 2019

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස 10 වනදා දක්වා විදේශගතවීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවී ඇත.

    නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව අද(26) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි. එහිදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට විදේශ සංචාරයක යෙදීමට අවශ්‍ය වී තිබෙන බවයි.

    ඒ සඳහා දැනට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා එහෙත් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරිම සඳහා මෙම මෝසම ගොනු කළ බව දන්වා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ලබන පෙබරවාරි මස 10 වනදා දක්වා නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබාදුන් අතර එදින නඩුව විභාගයට ගන්නා බවයි නියම කළේය.

    Latest News