අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කැඳවීමට නියෝග

දෙසැ 08, 2021

    වර්තමානයේ පවතින හා මේ වන විට අහෝසි වී ඇති අමාත්‍ය ධුර පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක් තුළ අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති ආකාරය නීති විරෝධී යැයි තීන්දු කොට එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුක කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අද කැදවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා.

    එම පෙත්සම අද විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෑතකදී පත් කරන ලද ඇතැම් අමාත්‍ය ධුර අහෝසි වී ඇති බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබී ඇතැයි පැවසුවා.

    ඒ පිළිබඳව සොයා බලා දැනට පවතින සහ අහෝසි වී ඇති අමාත්‍ය ධූර සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාල අමාත්‍ය ධූර සම්බන්ධයෙන් සොයා බලා සති දෙකක් ඇතුළත ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුන්නා.

    අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා ජනවාරි මස 27 වනදා කැඳවීමට නියම කළා.

    වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම් කර තිබෙනවා.

    නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) (අ) සහ(ආ) ව්‍යවස්ථාවට පටහැනි බවයි.

    එම ව්‍යවස්ථාව මගින් පණවා තිබෙන සීමාවන් ඉක්මවා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ජනාධිපතිවරයා විසින් වැඩිපුර පත්කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු එම පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි කියා සිටින්නේ.

    ඒ අනුව ඉකුත් ජුනි මස 07 වන දායින් පසුව මෙරට අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙවැනි අමාත්‍ය මණ්ඩලයකට සිය නිල කටයුතු ඉටු කිරීමට නිත්‍යානුකුල හැකියාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ තුළින් ඔවුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් චෝදනා කළා.

    එබැවින් මෙම නඩුකරය ජාතික වැදගත්කමක් සහිත නඩුවක් සේ සලකා එය විශේෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙසද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අත් හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඊට අමතරව ව්‍යවස්ථානුකූල සීමාවන් අභිබවා රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් පත්කොට තිබෙන චමල් රාජපක්ෂ, දිළුම් අමුණුගම, නාමල් රාජපක්ෂ සහ සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ යන අයගේ කටයුතු අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News