වී අලෙවි මණ්ඩලයේ වී, සහල් කිරිමේදී රු . කෝටි 11 1/2 කට අධික පාඩුවක්

නොවැ 26, 2019

    2016-2017දී වී අලෙවි මණ්ඩලයේ වී, සහල් බවට පත් කිරිමේදී රු එකොලොස් කෝටි හැට අට ලක්ෂයකට අධික පාඩුවක් සිදුව ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද(26) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

    එම වසරවල දී වී අලෙවි මණ්ඩලයේ වී තොග සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින් මිලදී ගෙන වී මෝල් හිමියන් මගින් සහල් බවට පත් කිරිම සිදුකර තිබේ. එහිදී මෙම රුපියල් එකොලොස් කෝටි හැට අට ලක්ෂයකට අධික පාඩුව සිදුව තිබේ.

    පොලිස්පතිවරයාට ලැබුණු ලිඛිත තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දුන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධ විමර්ශනවලට අනුව වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිහතක් වී මෝල් හිමියන්ට ලබා දී එම වි තොග නැවතත් සතොස වෙත ලබා දී නැතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.

    රජයට අයත් වී මංකොල්ල කන බවට ලිඛිතව ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශණ ආරම්භ කළ බවත් එසේ වී ලබා ගෙන වී මෝල් හිමියන් 4 දෙනෙකුට දී සහල් බවට පත් කළද ඒවා නැවත ‍සතොසට ලබා නොදීමෙන් රුපියල් 116,888,711ක් පාඩුවක් සිදුව ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

    මෙලෙස වී සහල් බවට පත් කිරිමට ගිවිස ගත් නමුත් ගිවිසුම කඩ කරමින් සහල් නැවත සතොසට ලබා දී නොමැති බවට අනාවරණය වී ඇත්තේ, කදුරුවෙල ටර්කි වී මෝල, මින්නේරිය නිව්‍ ගෝල්ඩන් වී මෝල, කදුරුවෙල තබෝද සහල් මෝල, කදුරුවෙල මුස්ලිම් කොළනියේ යූරෝ සහල් මෝල වේ.

    සතොස නිලධාරින් සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් නඩුව බහා තබන නියෝග කළේය.

    Latest News