පා.ම. නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් 08...

සැප් 14, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය  දෙසැම්බර් 8 වැනිදා  කැඳවන ලෙස, කොළඹ මහාධිකරණය අද (14) නියම කළා.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් බව කියන රුපියල් මිලියන 30 ක  මුදලක් "ගවර්ස් කෝපරේට්" සමාගමේ ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් නඩුව පවරා තිබෙනවා. නඩුව විභාග කරමින්, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා  සාක්ෂිකරුවන්ට දෙසැම්බර් 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද, අවවාද කළා. නඩුවේ තුන්වැනි විත්තිකාරිය ලෙස  නම් කර සිටින සුජානී බෝගොල්ලාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඇයට ලබන 20 වැනිදා සිට 25 දක්වා විදේශගත වීමට අවසර ලබා දුන්නා. නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා නොමැති බවද, විනිසුරුවරයා‍ මෙහිදී සඳහන් කළා. එබැවින් ඔවුන්ට අධිකරණය දැනුවත් කර විදේශගතවීමක් සඳහා බාධාවක් නොමැති බවයි, මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ.  මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව යහපාලනය සමයේ නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News