රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ වාර්තාවක් ගැන සමාජ මාධ්‍යවල පළ වී ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක්

නොවැ 15, 2019

    රාජ්‍ය බුද්ධි සේවය විශේෂ වාර්තාවක් ජනපතිට ලබා දී ඇතැයි සමාජ මාධ්‍යවල පළ වී ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    පසුගිය නොවැම්බර් 05 දිනැතිව රාජ්‍ය බුද්ධි සේවය විසින් “අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව” යන ශීර්ෂය යටතේ මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    රාජ්‍ය බුද්ධි සේවය ද ඇතුළත්ව ශ්‍රී ලංකා පොලිසියේ කිසිදු ආයතනයක් ස්වාධීන ආයතනයක් වශයෙන් එම අසත්‍ය ලිපියේ දක්වා ඇති ආකාරයට දේශපාලන කටයුතුවල නිරතවීමක් හෝ මැදිහත්වීමක් හෝ ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ෂණයක් සිදු නොකරන බවද එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ. තවද ශ්‍රී ලංකා පොලිසියේ පූර්ණ අවධානය යොමු වන්නේ මෙම ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමීව පැවැත්වීම සඳහා ආරක්ෂිත වාතාවරණයක් සැළසීමට බවද සඳහන් කර ඇත.

    මෙවන් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලාවල පළ කළ තැනැත්තන්ට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News