පසුගිය කාලයේ පොලිස් සේවයේ උසස් වීම් පිරිනැමීමේදී තමන්ට අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් උසස්වීම් නොලද පොලිස් නිලධාරීන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 130 ක් පමණ සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම්දීම සිදු කළා.
ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.
වැඩිදුරටත් කරුණු දැක්වූ සොලිසිටර් ජෙනරාල් වරයා කියා සිටියේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරු දක්වා සිදු කෙරුණු උසස් වීම්වලට අදාළව පසුගිය කාලයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් එකසිය හතලිස් එකක් පමණ ගොනු කෙරුණු බවත් ඉන් පෙත්සම් ගණනාවක් විභාගය සඳහා අවසර දී තිබෙන බවයි.
කෙසේ වෙතත් මෙම උසස්වීම් පිරිනැමීමේදී ලකුණු ලබාදීමේ ක්‍රියාවලිය ඇතැම් පෙත්සම් වලින් අභියෝගයට ලක් කර තිබෙන බවත් මෙම කරුණ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ අවධානයට යොමු කළ හැකි බවත් ඔහු සඳහන් කර සිටියා.
එහෙත් ඇතැම් උසස්වීම් සේවා කාලය පදනම් කරගෙන ලබා දී ඇති බවත් එවැනි උසස් වීම් අභියෝගයට ලක් කර තිබෙන පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙසත් ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ විරෝධතා සමග ඉදිරිපත් කළ හැකි බවත් සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට දන්වා සිටියා.
නමුත් සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ඉදිරිපත් කළ කරුණු වලට පෙත්සම්කාර පාර්ශවයේ ඇතැම් නීතිඥවරු එකඟතාවය පළ කර තිබුණද තවත් නීතිඥවරු පිරිසක් පිරිසක් පෙන්වා දුන්නේ මේ තුළින් සමථයක් ඇතිකර ගැනීම දුෂ්කර බවයි.
කෙසේ වෙතත් ඇතැම් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා වග උත්තරකර පාර්ශ්වයට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සෙසු පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ජුනි මස 30 වන දා සිදු කරන බවත් නියෝග කළා.
පොලිස් කොස්තාපල් තනතුරේ සිට සැරයන් දක්වා, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වාත්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වාත්, පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වාත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වාත් පසුගිය කාලවල සිදුකළ උසස්වීම් අභියෝගයට ලක් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
ජාතික පොලිස් කොමිසම සහ එහි සාමාජිකයින් පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිනවා.