ජනාධිපතිවරණයට සියල්ල සූදානම්: ඡන්ද විමසීමට තව ඇත්තේ දින දෙකකටත් වඩා අඩු කාලයක් (වීඩියෝ)

නොවැ 14, 2019

    ශ්‍රී ලංකාවේ අට වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට තව ඇත්තේ දින දෙකකටත් වඩා අඩු කාලයකි.

    ඊට අදාල සියලු කටයුතු මේ වනවිට යුහුසුලුව සූදානම් වෙමින් පවතී. මේ අතර, මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්‍ෂකයින් විශාල පිරිසක් ද දිවයිනට පැමිණ තිබේ. 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මෙවර ජනාධිපතිවරණ විශේෂ රාජකාරී සඳහා පිටත්වන පොලිස් නිලධාරීන් අද එම ප්‍රදේශවලට පිටත් කරනු ලැබීය. රාජකාරී සඳහා පිටත්ව යන නිලධාරීන් දැනුවත් කිරීම අද සිදු කෙරිණ. මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයින් 35 දෙනෙකු නාම යෝජනා බාරදී තිබේ. හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබෙන අතර, ඒවා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගැනේ. මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනාව අනුව, පැමිණි විදෙස් නිරීක්‍ෂකයින්ගේ සංඛ්‍යාව 18ක්. ඉන් 11 දෙනෙකු සෘජු නිරීක්‍ෂණ කටයුතු සඳහා සහභාගි වන අතර, අනෙකුත් 7 දෙනා අධ්‍යයන කටයුතු සඳහා නිරත වේ. මීට අමතරව, පොදු රාජ්‍ය මණ්ඩලීය, යුරෝපා සහ තවත් දේශීය සංවිධාන කිහිපයක නිරීක්‍ෂකයින් ද ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා එක්ව සිටී. මේ අතර යුරෝපා සංගමයේ නිරීක්‍ෂකයින් පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයේ නිරීක්‍ෂණ කටයුතුවල නිරත වූහ.

    නිහඬ කාලසීමාව, ඊයේ මධ්‍යම රාත්‍රී සිට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර සතියක් ගතවන තුරු බල පැවැත්වෙන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඔක්තෝබර් 8 වැනිදා සිට ඊයේ දිනය තෙක් ලැබුණු පැමිණිළි සංඛ්‍යාව 3,821ක්. ගතවූ පැය 24 තුළ පැමිණිළි 92ක් ලැබී තිබේ. ඉන් 91ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධවයි. මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ, ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දින සිට අද දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ පැමිණිලි සම්බන්ධයෙන් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 22:21

    Latest News