නායයාමෙන් වැලිමඩ - උඩුපුස්සැල්ලාව මාර්ගය වැසේ

නොවැ 14, 2019

    වැලිමඩ ලූනුවත්ත හරහා උඩුපුස්සැල්ලාව දක්වා ඇති ප්‍රධානතම මාර්ගයට ගම්පහවත්ත ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම නිසා අද (14) එම මාර්ගය වසා දමා ඇති බව ඌව පරණගම පොලිසිය පවසයි.

    මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

    වැලිමඩ සිට ලූනුවත්ත හරහා කර්කිල්ස් මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ. ගම්පහවත්ත ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ විශාල පස් කන්දක් කඩා වැටීම නිසා මෙම මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

    නායයාමත් සමග විශාල ගල් කැබැලි මෙම මාර්ගයට මතට පතිත වී ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව තිබේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා ඌවපරණගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරණ ඒකකය එක්ව මෙම ස්ථානය පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

    මෙම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවීමෙන් උඩුපුස්සැල්ලාව, කර්කිල්ස්, ගම්පහවත්ත, රාගල, ලූනුවත්ත, පන්නලවෙල ආදී ප්‍රදේශවලට ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

    Latest News