තාජුදීන් ඝාතනය - චෝදනා ඇති මිනීමරුවන් ඇල්ලීමට නියෝගයක්

නොවැ 29, 2018

    වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකි සැකකරුවන් සිටීනම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද රහස් පොලිසියට නියම කලේය. 

    නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා, බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකරට එරෙහිව මිනී මැරුම් සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සහ ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට හැකි බව රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

     එම සැකකරුවන් තුන් දෙනාට එරෙහිව මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල කිරීමට තිබෙන සාක්ෂි මොනවාද යන්න මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියෙන් විමසා සිටියේය.

    දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව මෙම සැකකරුවන් තුන් දෙනාට එරෙහිව මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ රහස් පොලිසියට පෙන්වා දුන්නේය.ඊට පිළිතුරු දෙමින් රහස් පොලිසිය සදහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

    ඒ අනුව පැමිණිල්ල නැවත පෙබරවාරි මස 28 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම සැකකරුවන් තුන් දෙනාට එරෙහිව මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි සාක්ෂි මොනවාද යන්න පිළිබඳව අධිකරණය දැනුවත් කරන්නැයි රහස් පොලීසියට නියෝග කලේය.

    මෙහිදී වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම නඩුව මිනීමැරුම් සිද්ධියක් බවයි.

    මෙම මිනීමැරුමට සම්බන්ධය නියම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසිය වෙත දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළ නොහැකි නම් ඔවුන්ට වෙනම නඩුවක් පැවරීමට පියවර ගන්නා මෙන්ද රහස් පොලිසිය වෙත දන්වා සිටියා.

    පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියෙන් විමසීම් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම මිනීමැරුම් සිද්ධියට අදාළව පුද්ගලයින් 1200 ක ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. දුරකථන ඇමතුම් ලක්ෂ විසි දෙකක් පමණ විමර්ශනයට භාජනය කර ඇතැයි සඳහන් කළ රහස් පොලිසිය මෙය ඉතා සංකීර්ණ පරීක්ෂණයක් බවයි අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    වසීම් තාජුදීන් ඝාතනය වූ අවස්ථාවේ ඔහු පසුපස හඹාගිය වාහනයක් සහ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ රහස් පොලිසිය ඒ පිළිබඳව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව දැනුම් දුන්නේය. වසීම් තාජුදීන් ඝාතනය සිදු වූ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් ගත් පුද්ගලයින් සහ වාහන පිළිබඳව චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ තොරතුරු ලබාගැනීම සඳහා නාසා ආයතනයේන් කරුණු විමසීමක් සිදු කර තිබේ.

    ඒ අනුව පරීක්ෂණ නොපමාව සිදුකරන ලෙසත් එහි ප්‍රගතිය පෙබරවාරි මස 28 වනදා අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් රහස් පොලිසියට නියෝග කෙරිණ.

     

     

     

     

    Latest News