තාජුඩීන් ඝාතනය; අනුර සේනානායක නැතිව නඩුවේ සාක්ෂි විමසේ

ජන 16, 2020

    වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි විනාශ කිරිමේ චෝදනා එල්ලවී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නොමැතිව සාක්ෂි විභාගය පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව තීරණය කිරිමට අවශ්‍ය සාක්ෂි මාර්තු 02 වැනිදා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණය විසින් නීතිපතිට නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

    නඩුවේ විත්තිකරුට පවතින අසනීප තත්ත්වය සුව වන දිනය නිශ්චය කිරීමට නොහැකි බවට වෛද්‍ය වාර්තාවෙන් ප්‍රකාශ කර ඇති බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා පැවසිය.

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්තිය යටතේ විත්තිකරු නොමැතිව සාක්ෂි විභාගය ආරම්භ කිරීමට හැකියාව පවතින බවත් ඒය තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි මෙහෙයවීමට අවසර ලබාදෙන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    තම සේවාදායකයා වර්තමානයේ පසුවන රෝගී තත්ත්වය මත මේ සම්බන්ධයෙන් උපදෙසක් පවා ලබා ගැනීම අපහසු තත්ත්වයක පවතින බැවින් අනුර සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඊට විරෝධය පල කළේය. විත්තිකරුගෙන් උපදෙස් ගැනීමකින් තොරව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කළහොත් ඔහුට දැඩි අගතියක් සිදු විය හැකි බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    මෙම නඩුව විත්තිකරු නොමැතිව විභාග කිරීම සඳහා අවසර ලබා දෙනවාද නැද්ද යන්න තීන්දු කරනු ලබන්නේ ඊට අදාළව සාක්ෂි කැඳවා අධිකරණය සෑහීමකට පත්විය හැකි කරුණු ඉදිරිපත් වුවොත් පමණක් බව විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

    ඉල්ලීමට අදාළ සාක්ෂි ලැයිස්තුව අද සිට සති දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට නියම කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සාක්ෂි කැඳවීම මාර්තු මස 02 වනදා සිදුකරන බව අවධාරනය සිටියේය.

    මෙම සාක්ෂි විභාගයේ දී විත්තිකරුට අවශ්‍ය නම් විත්ති පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමට හැකියාව පවතින බව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසිය.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 14:27

    Latest News