හෙම්මාතගම පොලීසියේ 3කගේ වැඩ තහනම්

නොවැ 09, 2019

    තරුණියකට අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගැනිම මගහැරිමේ චෝදනා මත නිළධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මෙලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්. සබරගමුව පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා විසින් අදාල වැඩ තහනම් කිරිම සිදු කර තිබේ.

    පොදුජන පෙරමුණේ කෑගල්ලේ පැවති දේශපාලන රැළියකට සහභාගිවී බස් රථයකින් ආපසු එමින් සිටි තරුණියකට පසුගිය 07 වැනිදා හෙම්මාතගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණ. නමුත් ඊට අදාළ සාක්ෂි සොයා ගැනිම මගහැර ඇති බැවින් අදාල නිළධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ තරුණියගේ පියා කළ පැමිණිල්ලකට අනුවයි. තම බිරිඳ සමග රැළියට සහභාගිවීම සඳහා ගිය දියණිය රාත්‍රී 11 වන තෙක් නිවසට නොපැමිණි බව තරුණියගේ පියා පොලිසියට පැමිණිලි කර තිබේ. බස් රථයෙන් රැළියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි තරුණයෙකු විසින් තරුණිය හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව පසුව කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. තරුණිය අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 10:07

    Latest News