බිරිඳ, දරුවෝ විදේශීය පුරවැසියන් වන අයෙක් ජනාධිපති උනොත්, රටට ඇතිවන වලංගු භාවය කුමක්ද? (වීඩියෝ)

ඔක් 30, 2019

    පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට යැයි පැවසූ අය රටේ ඉඩම් සින්නක්කරව විදේශ රටවලට විකුණු බව පුජ්‍ය සුරිය වැව සුමේද හිමියන් සඳහන් කරයි.

    ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය තුළ මනාව විධිමත්ව පාලනය වන රටක් ඇති විය යුතු බවත් විදේශිය පුරවැසියෙක් ජනාධිපති වුවහොත්, ඒ රටට ඇතිවන වලංගු භාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත් සුමේද හිමියන් වැඩිදුරටත් පවසයි.

    එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්ව, මහින්ද රාජපක්ෂ අගමැති වු විට පවුලේ තීරණයක් ලෙසින් රටේ තීන්දු තීරණ ගනීනම් , ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ බල තුලනය පවත්වා ගන්නේ කෙසේදැයි යන්න පුජ්‍ය සුරිය වැව සුමේද හිමියන් විමසා සිටියි.

    උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29)මහරගම පැවති ජනරැළියට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පුජ්‍ය සුරිය වැව සුමේද හිමියන්...

    “අපි මෙවැනි දේශපාලන වේදිකාවලට අපි වැඩිය කැමති නැහැ. නමුත් වර්තමානයේ මේ වේදිකාවට අප වැනි භික්ෂුන් වහන්සේලාට ගොඩ වෙන්න මග හදලා. පිරිසක් මේ චීවරය තුළින් නිර්ලජ්ජිත දේශපාලනය කරන්න යොමුවෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ ගැන කතා කරන්න වේදිකාවට පැමිණියේ.

    යුද්ධයේ වේදනාව කටුක බව හැමකෙනෙකුට දැනුන යුගයක් තිබුණා. එවකට අප රටේ හිටපු පාලකයා රටපුරා ගිහින් ප්‍රකාශයක් කළා. ඔහු රටපුරා බැනර් එල්ලා තිබ්බා. ඔහු එහි සඳහන් කරනවා මම සිංහල, මම දෙමළ, මම මුස්ලිම් කියලා භේදයක් නැතුව එකා වන්ව, එක අම්මාගේ දරුවෝ ලෙස රට ගොඩනගන්න එකතුවෙන්න කියලා. ඒ නිසා අපි ඔහුට එදා ඒ ජයග්‍රහණය කරන්න කටයුතු කළා. එක අම්මා ගේ දරුවෝ වගේ මේ රට පාලනය කරන්න ඕන කියලා ප්‍රකාශ කරලා තිබුණේ ඩී. ඒ රාජපක්ෂ මහතාගේ නෝනගේ දරුවන් ගැන. එලෙසයි කටයුතු සිදුවුණේ..

    රාජපක්ෂ පාලනය තුළ ජාතික ආදායමෙන් සියයට 97ක් අරගෙන පවුල් පාලනයක් ගෙන ගියා. මෑතකදී ගෝඨාභය ගේ තිබුණ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ ගෝඨාභය මහතා ජනාධිපති වී, මහින්ද අගමැති වුවහොත් ව්‍යවස්ථා දායකයේ හා විධායකයේ බලතුලනය කරගන්නේ කොහොමද කියලා. එවිට මහින්ද රාජපක්ෂ මහතා කියනවා ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි, එයා මල්ලි මම අයියා. අපිට ප්‍රශ්නයක් නෑ. එය පාලනය කරන්න අපිට පුලුවන් කියලා. අයියටයි, මල්ලිටයි ඕන විදිහට මේ රට පාලනය කරනවද කියලා රටේ ජනතාව තිරණය කළ යුතුයි. පවුලේ තීන්දු තීරණ ගන්න ලෙස රටක් ලෙස මේ රටේ තීන්දු තීරණ ගන්න පුලුවන්ද? ව්‍යවස්ථාදායක යේ විධායකයේ අධිකරණයේ බලය ඔඩොක්කුවේ තබාගෙන ඔවුන් මේ රට පාලනය කළේ.තමන්ට අවශ්‍ය අණපනත් ඇති කරගන්න, නීත්‍යානුකූලභාවය පිළිබඳ සහය ලබා නොදෙන විට අගවිනිසුරු ධුරයෙන් පහකරන තත්වය ඇතිව තිබුණේ. ව්‍යවස්ථාව,විධායකය,අ ධිකරණය තුළ මනාව විධිමත්ව පාලනය වන රටක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ.

    1978 ව්‍යවස්ථාව ගෙන ආ පසු, එමගින් පත්වන විධායක ජනාධිපතිවරයා බවට පත්වෙන ජනාධිපති වරයාගේ බලය සීමා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතුවුණා. එලෙස ජනාධිපති බවට පත්වෙන පුද්ගලයා වෙනුවෙන් ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න තිබුණා. ඒ බලතල පාර්ලිමේන්තුවට, අධිකරණයට වගකියන තනතුරක් ලෙස පත්කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය තිබුණා. නමුත් වර්තමාන පාලනය තුළ විධායක ජනාධිපති ධුරය ප්‍රජාතන්ත්‍රකරණය කරන්න මේ ආණ්ඩුවට හැකිවෙලා තිබෙනවා. දැන් 1978 ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයා මේ රටේ පුරවැසියෙක් බවට පත්කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඇති වෙලා. ව්‍යවස්ථාව තුළ විදේශිය පුරවැසියෙක් ජනාධිපති කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය දැන් අපිට ඇතිව තිබෙනවා. මියන්මාරය තේරවාදි බෞද්ධ රටක්. එහි 2015 ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක් පවත්වා අවුන්සාන් සුකී යන කාන්තාව ජයග්‍රාහණය කළා. එහෙත් ඇයට ජනාධිපති බවට පත්වෙන්න හැකිවුණේ නැහැ. එයට හේතුව ඇගේ ස්වාමිපුරුෂයා බ්‍රිතන්‍යය පුරවැසියෙකු වීම නිසා. මියන්මාරය තේරුම්ගත්තා ජනාධිපතිගේ පවුලේ කෙනෙකු කිසියම් රටක පුරවැසියෙකු වුණොත් එය රටට බලපානවා කියලා. ඒ අනුව එය ඔවුන් ව්‍යවස්ථාවට ඇතුළත් කළා. දැන් අපේ රටේ ජනාධිපති ධුරයට ඉල්ලන පුද්ගලයා විදේශිය පුරවැසියෙක්. බිරිද දරුවෝ විදේශිය පුරවැසියන්. ඒ නිසා අපි සබුද්ධික තීරණයක් ගන්න ඕන. විදේශිය පුරවැසියෙක් ජනාධිපති වුණොත්, ඒ රටට ඇතිවන වලංගු භාවය මොකක්ද?

    ගෝඨාභය රාජපක්ෂ දැන් බුදුදහම, චීවරය, ඉතා ලාබෙට විකුණනවා. රාජපක්ෂ මහත්තරු පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට කියලා පපුවට ගහගෙන මාතෘ භුමියට තිබෙන ආදරේ කුණු කොල්ලයට විකුණන්න හැදුවා. මේ මාතෘ භුමියේ ඉඩම් සින්නක්කරව විකුණන්න පුලුවන්ද? සෝමාවතියේ අක්කර පන්දහක් අමෙරිකාවේ ඩෝල් සමාගමට විකුණුවා. පැලවත්තේ අක්කර එක්දහස් දෙසීයක් උල්හිටියේ අක්කර පන්සීයක්, කල්පිටිය දුපත් දෙකක් විකුණනු ලැබුවා. මාතෘභුමියේ ඉඩම් තමන්ගේ ගෙදර ඉඩම් කියලා හිතලා විකුණන්න පුලුවන්ද?යන ප්‍රශ්නය අපි ඔවුන්ගෙන් ඇසිය යුතුයි.” යනුවෙන් සදහන් කළේය.

    Last modified on බදාදා, 30 ඔක්තෝබර් 2019 19:53

    Latest News