ආඥාදායකත්වය හිස එසවීම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකතුව පරාජය කළ යුතුයි - ඇමති සජිත්

ඔක් 28, 2019
  • කුමන හෝ ආකාරයකින් ආඥාදායකත්වය හිස ඔසවනවා නම් සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකට එකතුව ආඥාදායකත්වය පරාජය කිරීමට කටයුතු කළ යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    අද අපේ රටේ සෑම පුරවැසියෙකුම උපරිමයෙන් භුක්ති විඳිමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියට රැක ගත යුතු බවත්, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ “වාම සහයෝගිතා සමුළුවට“ අද 28 දින එක්වෙමිණි. මෙම සමුළුව කොළඹ, නව නගර ශාලාවේදී පැවැත්විණ.

    “ෆැසිස්ට් ආඥාදායකත්වය පරාජය කරමු“ යන මැයෙන් මෙම සමුළුව සංවිධාන කර තිබූ අතර මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති-ඇමතිවරුන් පිරිසක් ද සහභාගි වූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වර්ධනය රටේ ජීවත්වන සියලු දෙනාම එකතු කරගත් ආර්ථික වර්ධනයක් විය යුතුයි. ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ එක් පවුලක් හෝ එක් කණ්ඩායමක් අතර පමණක් බෙදී යනවා නම් එය සම්පුර්ණයෙන්ම වැරදියි. එතැන සිදුවන්නේ සමාජ අසාධාරණයක්. රට සෞභාග්‍යය කරා යනවා නම් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් රට තුළ නිර්මාණය කළ යුතුයි. සමානාත්මතාවය මත පදනම්ව රටේ සම්පත් බෙදී යා යුතුයි. අපනයන මත කේන්ද්‍ර වූ ආර්ථිකයට අප ඉහළ තැනක් ලබාදිය යුතුයි. මෙම න්‍යායන් අනුගමනය කරමින් පොදු ජනතාව මුල් කරගත් සමාජ ආර්ථික වැඩපිළිවෙළක් තමන් රට තුළ නිර්මාණය කරනවා. ආර්ථික, සමාජ, දේශපාලන ක්‍ෂෙත්‍රයන්හි සාධනීය වෙනසක් ඇති කළ යුතු බව මා විශ්වාස කරනවා. නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් තුළ රටේ සැමට සංවර්ධනය අප උදා කළ යුතුයි. එම නව යුගය ලබන 16 වැනිදායින් පසුව තමන් මෙරට නිර්මාණය කරනවා“ යනුවෙන් ද පැවසීය.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 20:17

    Latest News