“එක්ව ඉදිරියට - තාරුණ්‍යයේ පරිවර්තනය“

ඔක් 28, 2019

    “එළඹෙන 16 වැනිදා නිර්මාණය වන්නේ තාරුණ්‍යයට ඉමහත් ශක්තියක් ලබාදෙන ඓතිහාසික යුගයක ආරම්භය බවත්, රට ගොඩනඟන නිර්මාණශීලි ගමනේ වගකීම මෙරට තාරුණ්‍යයට පවරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    අද දින අත්සන් තබන තරුණ ප්‍රඥප්තිය මෙරට ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙන ප්‍රඥප්තියක් බවට පත්වන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ තරුණ ප්‍රඥප්ති සමාජ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිණි. මෙම තරුණ සමුළුව අද (28) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    “එක්ව ඉදිරියට - තාරුණ්‍යයේ පරිවර්තනය“ යන තේමාව යටතේ මෙම තරුණ සමුළුව සංවිධානය කර තිබිණ. මෙරට පළාත් 9 නියෝජනය කරමින් තරුණ ප්‍රඥප්තිය අත්සන් තැබීම සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙහිදී සිදු කෙරිණ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය. “අද අත්සන් තබන තරුණ ප්‍රඥප්තිය රටේ නීතියක් බවට පත්වන විට තරුණ පරපුර දේශපාලඥයින්ගේ, ධනවතුන්ගේ සහ බලවතුන්ගේ පසුපස යන යුගය අවසන් කර, තරුණ තරුණියන් වහල් භාවයෙන් මුදා ගනිමින් සමාජයේ විශිෂ්ටයින් බවට පත්වනවා.

    තරුණ පරපුර වෙනුවෙන් තරුණ ප්‍රඥප්තියක් නිර්මාණය කර තාරුණ්‍යය සමඟ සමාජ ගිවිසුමකට එළඹෙන මෙම ඓතිහාසික අවස්ථාව ආසියාවේ පළමු වතාවට සිදුවන්නක් බව මා සිතනවා. ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කිසිම දිනක ලබා නොදුන් ශක්තියක් මෙම ප්‍රඥප්තිය මගින් තරුණ පරපුරට හිමිවනවා. තරුණ ජවය හා ශක්තිය උපයෝගි කරගෙන තිරසාර සංවර්ධනයක් කරා රට ගෙන යන ගමනේ නායකත්වය තාරුණ්‍යයට ලබාදීම මෙම ප්‍රඥප්තිය නිර්මාණය කිරීමේ අරමුණ සහ වගකීමයි. හැකියාවන් සහ දක්‍ෂතාවන්වලින් පිරිපුන් ලොව විශිෂ්ටතම තරුණ පරපුර සිටින්නේ අප මාතෘ භූමියේ බව මා විශ්වාස කරනවා. සෞභාග්‍යමත් ශක්ති සම්පන්න මාතෘ භූමියක් නිර්මාණය කරන “ශ්‍රී ලංකා ෆස්ට්“ ගමනට ශක්තිය ලබාදෙන ලෙස මා තාරුණ්‍යයෙන් ඉල්ලා සිටිනවා“ යනුවෙන් ද පැවසීය.

     

     

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 20:47

    Latest News