ආර්දශ ඡන්ද විමසීම් තහනම් - මහින්ද දේශප්‍රිය

ඔක් 26, 2019

    ජනාධිපති අපේක්ෂකයා ගැන, පෞද්ගලික ආයතන, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වූ උපකාරක පන්ති හෝ ඕනෑම ස්ථානයක ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඊයේ (25) පස්වරුවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය. 

    මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කළ නිවේදනය..

    " මැතිවරණ කොමිසම් සභාවට නිරීක්ෂණ වී තිබෙනවා. සමහර පෞද්ගලික ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වූ උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානවල ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වෙන බවත් ඒවායේ ප්‍රතිඵළ සමාජ මාධ්‍ය ජාල හරහා සමාජ ගත කරන බවත්. ඒවායේ බැලූ බැල්මට යම් වරදක් දැකිය නොහැකියැයි යමෙකුට හැගී යන්නේ උවත් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ විධි විධානවලට පටහැනි වන අවස්ථා ඇති බව ඒ අදාළ සියලු දෙනාටම දැනුම් දීමට කැමතියි.

    ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමෙ පනතේ 78වැනි වගන්තියේ දැක්වෙන අයුතු බලපෑම යන වරදට දුෂණ ක්‍රියා යටතේ ගැනෙන මෙම කාර්ය අදාළ වේ. අනෙක් අතට සැබෑ ලෙස සමාජයේ තෝරා ගනු ලබන සසම්භාවී නියැදියකින් තොරව යම් ස්ථානයක සේවය කරන පිරිසක්, නැතිනම් යම් උපකාරක පන්තියට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් පවත්වන මෙවැනි ආදර්ශ ඡන්ද විමසීමකින් ලැබෙන ප්‍රතිඵලය මුළු දිවයිනටම සාමාන්‍යකරනය කිරීම වරදක්. ඕනෑම ඡන්ද විමසීමක දී මුලු දිවයිනේම ඡන්ද විමසීම එක් දිනයක දී පවත්වා එහි ප්‍රතිඵලය එක්වර නිදහස් කරන්නේ එක් ස්ථානයක ඡන්ද ප්‍රතිඵළ අනෙක් ස්ථානයට බල නොපෑයුතු බැවින්. උදාහරණයක් ලෙස තැපැල් ඡන්ද දායකයන්ගේ ඡන්දය ගණන් කරන්නේ සාමාන්‍ය ඡන්ද දායකයන්ගේ ඡන්දය දී අවසන් වූවාට පසුවයි. එසේ නොවුනහොත් එහි ප්‍රතිඵලය අනෙකුත් ඡන්ද දායකයන්ට බලපෑමක් විය හැකියි. මේ නිසා මෙම පූර්ව ඡන්ද විමසීම් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස නීතිගරුක, යහපත් පුරවැසියන්ගේ මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් හා සම භූමියේ කෙරෙන තරගයක්, ඡන්ද විමසීමක් පැවැත්වීමට නම් මෙවැනි පූර්ව පෙරහුරු ඡන්ද විමසීම් පවත්වා ප්‍රතිඵල නිදහස් කිරීමෙන් වැළකිය සිටිය යුතුයි."

    Latest News