රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගනිමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නවා - සජිත් (වීඩියෝ)

ඔක් 22, 2019

    ජාත්‍යන්තරය තරහ කරගෙන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත්, අපේ රටට වටිනාකමක් ඇති විදේශීය රටවල් සමග විනිවිදභාවයෙන් යුතු ශක්තිමත් සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නල මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන රැළියට අද (22) දින එක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    “මෙරට බුද්ධි අංශ දේශපාලනීකරණයට ලක්වීම නිසා දුර්වල වෙලා තිබෙනවා. බුද්ධි අංශය නිර්මාණය විය යුත්තේ දේශපාලනඥයින්ගේ උවමනාවන් ඉටු කිරීමට නොවෙයි. රටට එල්ලවන අභියෝග, ගැටළු පිළබඳව කරුණු කල්තියා සොයා බලා ඒවා වැලැක්වීමට කටයුතු කිරීමයි.
    පසුගිය පාලන සමයේදී ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන් පාලකයින්ගේ සේවකයින් බවට පත්වුණා. රට ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන් පාලකයින්ගේ සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ වහලුන් බවට පත්කර ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකියි.
    බොරු දේශප්‍රේමීත්වක් නිර්මාණය කරගත් ප්‍රතිවාදීන් පසුගිය කාලයේ දළදා මාළිගාව ඉදිරිපිට පාරවල් වසා, රණවිරුවන් ලවා වැලි කොට්ට ගසාගෙන රේස් කාර් පැද්දා. ජනතා මුදල් වැය කර විදේශීය නළඟනාවන් රටට ගෙන්වා ගනිමින් සංගීත ප්‍රසංග පවත්වාබුදු සසුන කෙළසීමට කටයුතු කළ ආකාරය මේ රටේ ජනතාවට අමතක නැහැ. අපි නියම ප්‍රායෝගික බෞද්ධයින් ලෙස මේ රටේ චෛත්‍ය, දහම් පාසල් ශාලා, වෙහෙර විහාරස්ථාන ඉදිකර සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉතිහාසයේ කිසිම රජයක් නොකළ සේවාවක් ඉටුකළා” යනුවෙන් පැවසීය.

    මෙම ජන හමුවේදී ස්වාධීන කාණ්ඩායම් නායක, පන්නල ප්‍රාදේශිය සභා මන්ත්‍රී චන්ද්‍රපාල මහතා ඇතුළු කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟවදින සරත් කුමාර මහතා ඇතුළු තවත් ස්වාධින කණ්ඩායම් නියෝජිතයින් කිහිපදෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් එක්වූහ.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 20:31

    Latest News