හෙටත්, වැසි හෝ ගිගුරුම් සහිත වැසි (වීඩියෝ)

ඔක් 22, 2019

    බස්නාහිර, සබරගමුව යන පළාත්වල ද ගාල්ල, මාතර, යාපනය, මන්නාරම, පුත්තලම යන දිස්ත්‍රික්කවල ද හෙට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකියි. තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. රාජාංගනය, අංගමුව, තබ්බෝව, කකුලේගඟ සහ දැදුරුඔයේ වාන් දොරටු තවමත් විවෘතව පවතී. එම නිසා අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් එහි පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් හට ගැණින. අප වාර්තාකරු පවසන්නේ අත්තනගල්ල, ඕගොඩපොළ හා ඒ අවට ප්‍රධාන මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවූ බවයි.

    රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නාය අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් වලංගු බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මේ අතර උමා ඔය බහු කාර්ය ව්‍යාපාරයේ ප්‍රධාන ජලාශ වන පුහුල්පොළ හා ඩයරබා ජලාශයන්හි ජලය පිරවීම සාර්ථකව අවසන්ව ඇති බව අප වාර්තාකරු පවසයි. මේ වනවිට පුහුල්පොළ ජලාශයේ වාන් දොරටු 3ක් සහ ඩයරබා ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර තිබේ. එම ජලය උමා ඔය ඔස්සේ එක්වන්නේ මහවැලි ගඟටයි. මෙම ජලාශ පිහිටි ප්‍රදේශවලට අධික වර්ෂාවක් පවතින බව වාර්තාවේ.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 20:06

    Latest News