සහරාන් සමග මට කිසිඳු සබඳතාවක් නෑ..ඇමති රවුෆ් හකීම් (වීඩියෝ)

ඔක් 20, 2019

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් නම් ම්ලේච්ඡ ත්‍රස්තවාදියා සමඟ තමන් කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (19) පැවති ජනහමුවක් අමතමිනි.

    මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව ඇති වීඩියෝ පටය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ද ඒ මහතා සිදු කළේය. 

    "දැන් හිස්බුල්ලා කුමක්ද කරන්නෙ? තමන්ට මේ දෝෂාරෝපණය එල්ල කරපු අයටම කඩේ යමින් වුවමනාවෙන් මුස්ලිම් ජනතාවගේ ඡන්ද අපේ ජයග්‍රාහී අපේක්ෂකයාට නොදී වළක්වාලීම සඳහා තමන් ඉදිරිපත් වෙලා මේ අයගේ අතකොලුවක් හැටියට. රාජපක්ෂලාගේ වුවමනාවට කඩේ යන හිස්බුල්ලා මේ වීඩියෝ පටය යවලා දැන් මම ඇසුරු කළාලු සහරාන් එක්ක. මම ඉතාම පැහැදිලිව කිවයුතුයි, කවදාකවත් කිසි විටෙකවත් ඔය සහාරානුත් එක්ක සම්බන්ධකම් තියපු අය නෙවෙයි අපි.

    අපේ විරුද්ධවාදියාට කඩේ ගිය හිස්බුල්ලාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම ලබාදුන්නාම ඒ හාදයා කළේ විශාල ලෙස ප්‍රචණ්ඩත්වය මුදාහැරියා කාත්තන්කුඩියෙ. කාත්තන්කුඩියෙ ප්‍රචණ්ඩත්වයේ පියා හිස්බුල්ලා කියන එකට ඒ ජනතාව හොඳටම සාක්ෂි දරයි. ඉන්පසුව ඒ ප්‍රචණ්ඩක්‍රියාවලින් හානියට පත් වෙච්චි අය බලන්න මං ගියා. අපේ ආධාරකරුවන්ට යමක් වුණාම බලන්න යන්න එපෑයැ. ඒ කඩාදාපු ගෙවල්, කඩකාමර, ඉස්පිරිතාලෙ හිටපු අය බලන්න ගියාම ඒ අස්සෙ ඇවිල්ලා මේ සහරානුත් රිංගලා. ඒකට මං මොකක් කරන්නද ?

    ඉතිං ඔන්න ඒ වීඩියෝ පටයත් දාලා කියනවා දැන් ඔන්න මම මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදියාත් එක්ක හිටපු කෙනෙක් හැටියට බොරු ප්‍රචාරයක් කරන්න හදනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 20:25

    Latest News