රටට අවාසිදායක ගිවිසුම් අහෝසි කරන බවට ඇමති සජිත්ගෙන් පොරොන්දුවක්

ඔක් 11, 2019
  • ඉදිරියේ දී රටට අවාසිදායක අන්තර්ජාතික ගිවිසුම් අහෝසි කරන බවත්, වාසිදායක ගිවිසුම් පමණක් ක්‍රියාවට නංවන බවත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපති අපේක්‍ෂකවරයා ලෙස ඔහු මේ බව කියා සිටියේ අද පැවති විශ්ව විද්‍යාලයීය විද්වතුන්ගේ සමුළුවකට එක්වෙමින්. සමුළුව කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ. මේ අවස්ථාවට විද්වතුන්, ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    “සුලභව කතාවෙන න්‍යායක් තමයි නිදහස් වෙළෙඳ ගිවිසුම් වැඩි, වැඩියෙන් නිර්මාණය වෙනකොට රටක් දියුණු වෙනවායි කියන කාරණාව. මම ඒ අදහස ඒ ආකාරයෙන්ම පිළිගන්නේ නැහැ. විදේශීය වෙළෙඳ ගිවිසුම් වැදගත්, ආරක්‍ෂක ගිවිසුම් වැදගත්, දේශපාලන ගිවිසුම් වැදගත්. හැබැයි ඒ හැම ගිවිසුමකම සාපේක්‍ෂක වාසි අපේ රටට ලැබෙන්නේ නැහැ. සාපේක්‍ෂ වාසිය නොමැති තැන ඒ ගිවිසුම් රටට අහිතකර ගිවිසුම් බවට පත්වෙනවා. මෑත කාලයේ ඇෆ්සා කියයි, සෝෆා කියයි එම්සීසී කියයි. විවිධ ගිවිසුම් පිළිබඳව බහුලව සාකච්ජා වුණා. ඒ ප්‍රතිපත්තීන් පිළිබඳව තීන්දු තීරණ ගැනිමේ දී මොකක්ද අපි සිදුකළ යුත්තේ. අපි හොයලා බලන්නට ඕනේ ගිවිසුම්වල හර-බර. හොඳ-නොහොඳකම්, වාසි-අවාසි. මේ හැම දෙයක්ම රට කේන්ද්‍ර කරගෙන තමයි සොයලා බලන්න ඕනේ. පුද්ගලිකත්වය පැත්තක දමලා. වාසිනම් එය ක්‍රියාත්මක කරනවා. අවාසි නම් සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. දේශපාලන අභිමතාර්ථයන් රටේ ජාතික අවශ්‍යතාවයන් කැප කරලා පුද්ගලික හිතවත්කම් මත අවබෝධතාවලට එළඹෙන්නට දැනටමත් සාකච්ජා කරලා එවන් අවබෝධතාවන් නිර්මාණය වන අවස්ථාවක් අද නිර්මාණය වෙමින් පවතිනවා. තමුන්ගේ පුද්ගලික අවශ්‍යතාවන් සංසිඳුවා ගැනීම උදෙසා රටේ ජාතික අවශ්‍යතාවත්, ජාතික අනන්‍යතාවත් කැප කරන එක ඒ දේශප්‍රේමිත්වය ද කියන එක රටටම ප්‍රශ්න කරන්න කාලය එළඹිලා තියෙනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    මේ අතර මහා සඟ සමුළුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඒ, ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී මහා සංඝරත්නය විසින් දස වැදෑරුම් යෝජනාවලියක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පිළිගැන්වීය. මහාසංඝරත්නය පිරිත් සජ්ජායනා කර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කළේය.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 20:53

    Latest News