ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පවුල තුළ දියවි අවසන් - විජිත හේරත් (වීඩියෝ)

ඔක් 11, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නොමැති බවත් එය රාජපක්ෂ පාලනය තුළ දියවි ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. 

    ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ අද කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමිනි.

    එහිදී අදහස් පළ කළ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා...

    “ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට හාපුරා කියලා කියන්න තමන්ගේ පක්‍ෂයක් නැහැ. එය දැන් රාජපක්‍ෂ පාලනය ඇතුළේ දියවෙලා, බොඳ වෙලා ඉවරයි. මේක අලුත් දෙයක් නෙමෙයි. 2015ට පෙර මේ ගොල්ලෝ හිටියේ එකම වේදිකාවේ. රාජපක්‍ෂ පාලනය එදා පවත්වාගෙන ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති වුණේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා. පසුව ඔහු එහි අනුශාසක වුණා. පසුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකට බෙදුණා. නැවත දැන් එකට එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්‍ෂයට ගියා. රෝහිත බෝගොල්ලාගම, විජිත් විජිතමුණි සොයිසා, ලක්‍ෂමන් සෙනෙවිරත්න ඒ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වගකීම් දරපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අද එක්සත් ජාතික පක්‍ෂයේ. මේ සුපුරුදු සෙල්ලම තමයි හැමදාම සිද්ධ වුණේ. අද සිද්ධවුණෙත් ඒක.

    මේ පක්‍ෂ දෙක එකතු වුණා කියලා අලුත් වෙනසක් නැහැ. එකම දේ කලින් එකට හිටපු කට්ටිය නැවත වෙන් වෙලා, ආපහු එකතු වෙලා. මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකතුමා එකම වේදිකාවේ ඉඳගෙන දුමින්ද දිසානායක වේදිකාවේ වාඩිවෙලා ඉන්න කොට, ප්‍රවාහන ඇමති හිටපු නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා වාඩිවෙලා ඉන්න කොට පසුගිය අවුරුදු හතර හමාර ඇතුළේ මේ ආණ්ඩුව අපේ රටේ කෘෂි කර්මාන්තය විනාශ කළා. ප්‍රවාහනය විනාශ කළා. මේවා කියන කොට දුමින්ද දිසානායකලා, නිමල් සිරිපාල මහත්තයා ඒ වේදිකාවේ වාඩි වෙලා හිටියේ. ඒ ගොල්ලෝ තමයි මේ රටේ ආණ්ඩු කළේ. අමාත්‍යාංශ වගකීම් දැරුවේ. කෘෂිකර්මය විනාශ කළා නම් ඒ වගකීම දුමින්ද දිසානායක හිටපු ඇමතිවරයට තියෙනවා. ඒකෙන් ගැලවෙන්න බැහැ. ඒ විනාශ කරපු කට්ටිය තමයි අද එකට එකතු වෙලා ඉන්නේ“ යැයි විජිත හේරත් මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 20:04

    Latest News