කෙසෙල්ගමුඔයේ සැඩ පහරට අසුවු 03ක් බේරේ

ඔක් 11, 2019

    කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වු තිදෙනෙක් මුදා ගැනිමට බගවන්තලාව පොලිසිය සමත් වි ඇත.

    කෙසෙල්ගමුඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට ඊයේ (10) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එහි ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

    එම අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය බගවන්තලාව ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසාවෙන් පහත්බිම් රැසක් ඊයේ (10) පස්වරුවේ යට වු බවත්, පහත් බිම් හරහා යෙදි ඇති මාර්ග හරහා ගමන් කරමින් සිටි තරුණයෙකු සැඩ පහරට හසු වි ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. එම අවස්තාවේ වතු කම්කරුවන් පිරිසක් එක් වි එම තරුණයා බේරා ගැනිමට සමත් වු බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

    මේ අතර බගවන්තලාව කෙසෙල්ගමුඔයේ මසුන් ඇල්ලිමට ගිය තරුණයන් දෙදෛනෙක් සැඩ පහරට හසු වි තේ වත්තේ කන්දක් මත ආරක්ෂිතව සිටියදි පැය කිහිපයකට පසු කෙසෙල්ගමුඔයේ ජල මට්ටම පහල බැසිමෙන් පසු ඔවුන් දෙදෙනාද බේරා ගැනිමට හැකිවි ඇත.

    කෙසෙල්ගමුඔයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අක්කර අඩි හැට අටදහසක වපසරියකින් යුත් කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 6 දක්වා ඉතා ආසන්න වි ඇති බවත්, අක්කර අඩි අනු හතර දහසකට ආසන්න වපසරියකින් යුක්ත මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටටමට අඩි 2 දක්වා ආසන්න වි ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් කියා සිටිති.

     

     

     

    Latest News