සතුරු ආක‍්‍රමණ ජයගැනීමට හැකි වූයේ වීරෝදාර රණවිරුවන්ගේ කැපවීම මතයි…. ජනපති පවසයි (වීඩියෝ)

ඔක් 05, 2019

    සෑම විටම මාතෘභූමියට එරෙහිව ආ සියලු පර සතුරු උවදුරු ජයගැනීමට හැකිවූයේ නිර්භීත සෙබළ පිරිස්වල ඉමහත් කැපවීම නිසාවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

    කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු පාසලේ 76 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථක හැදෑරූ නිලධාරීන් විසිර යාමේ උත්සවය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවත්වුණු අතර එහි දී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

    කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු පාසලේ 76 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථක හැදෑරූ ආධුනික පොලිස් පරීක්ෂකවරුන් 50ක්, ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 183ක්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 41 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් 274 දෙනෙකු මෙහිදී විසිර ගියහ.

    ප‍්‍රථමයෙන් පුහුණු පාසලේ යුද ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව එම පරිශ‍්‍රයේ ස්ථාපිත කර තිබූ රසායනික, ජෛව විද්‍යාත්මක, විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂක මෙහෙයුම් නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ද විවෘත කිරීමට එක්විය.

    උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, රාජ්‍ය සේවයේ යෙදී සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් විවිධාකාර චෝදනා එල්ල වී ඇතත් එවැනි කිසිඳු චෝදනාවක් නොමැති පිරිසක් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය හැන්ඳිවිය හැකි බව ය.

    1980 දශකයේ මුල් භාගයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඇතිවූ රාජ්‍ය විරෝධී හා ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් මර්දනය කිරීමේ අවශ්‍යතාවය මත පොලිස් විශේෂ කාර්ය බළකාය බිහි වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා එදා මෙදා කාලය තුළ රාජකාරි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සහ ආබාධිත වූ රණවිරුවන්ට සමස්ත ජාතියේම ප‍්‍රණාමය හිමිවන බව ද සඳහන් කළේය.

    දර්ශනීය සරඹ සංදර්ශන, තූර්ය වාදන සහ දර්ශනීය පැරෂුට් සංදර්ශනයකින් මෙම උළෙල වර්ණවත් කෙරිණි.

    එමෙන්ම එම පුහුණුව සාර්ථකව නිමකිරීමේ විශිෂ්ටයින් 06 දෙනෙකු වෙත සම්මාන ප‍්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

    මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ, බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න යන මහත්වරුන් ද ජ්‍යෙෂ්ඨ නියෝ ජ්‍ය පොලිස්පතිවරුන් එක්ව පිරිසක් එක්ව සිටියහ.

     

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 20:11

    Latest News