ගෝඨාභයගේ පුරවැසි පෙත්සම: අමාත්‍ය විෂය පථය ඉටු කිරීමට ජනපතිට නොහැකි

ඔක් 03, 2019

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අද අභියාචනාධිකරණ හමුවේ දෙවන දිනටත් සලකා බැලීම සිදුවිය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ නඩු විභාගය පැවැත්වේ.

    මෙහිදී ප්‍රථමයෙන් තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයාට විධායක බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය පාලන බලය පැවරී තිබෙන්නේ අමාත්‍ය මණ්ඩලය වෙත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ජනාධිපතිවරයා අමාත්‍ය මන්ඩලයේ සහ රජයේ ප්‍රධානියා පමණක් බව සඳහන් කර සිටියා.

    ඒ අනුව රාජ්‍ය පාලනය අමාත්‍ය මණ්ඩලය විසින් මෙහෙයවිය යුතු බවත් ඒ ඒ අමාත්‍යංශවල විෂය පථය එම අමාත්‍යංශය භාර අමාත්‍යවරු විසින් ඉටුකිරීම ව්‍යස්ථාපිත අවශ්‍යතාවක් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව යම් අමාත්‍යවරයකුගේ විෂය පථයට සම්බන්ධ වන කරුණු ඉටු කිරීමට ජනාධිපතිවරයාට නීතිමය හැකියාවක් නොමැති බවද ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා පෙන්වා දුනි. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාල අයදුම් පත පවා මේ වන විට නොමැති බව ජනාධිපති නීතිඥ චානක ද සිල්වා වැඩ වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

    නඩු විභාගය අතරතුර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් සියලුම පාර්ශවයන්ට සම්බන්ධ නීතිඥවරුන්ට දන්වා සිටියේ කරුණු ඉදිරිපත් කිරීමේ දී කාලවේලාව සැලකිල්ලට ගෙන මෙම නඩුවට අදාළ කරුණු පමණක් ඉදිරිපත් කිරීමට කාරුණික වන ලෙසයි.

    ඉන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා යනු ඍජුවම මහජන ඡන්දයෙන් තේරී පත්වෙන අයෙකු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඒ අනුව ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන්නේ මහජනතාව විසින් පවරා දුන් විධායක බලතල බව කියා සිටියේය.

    එක් එක් අමාත්‍යංශ සදහා අමාත්‍යවරු පත්කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතු බවත් යම් අමාත්‍යංශයක් සඳහා අමාත්‍යවරයකු පත් නොකරන්නේ නම් එම අමාත්‍යංශය සතු බලතල ඉබේම ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුනි. තවදුරටත් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමූ සමයේ පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල ආරක්ෂක අමාත්‍යවරයා වෙත පැවරී තිබූ බවද සඳහන් කර සිටියා. ආරක්ෂක අමාත්‍යවරයා සතු බලතල එම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණු බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.

    මෙය සද් භාවයකින් යුතුව ඉදිරිපත් කළ පෙත්සමක් නොවන බව අවධාරණය කර සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එබැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙසයි අධිකරනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

    වැඩිදුර සලකා බැලීම හෙට (04) දිනට කල් තැබිණ.

    මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර ඇත.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බවයි. විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව කියා සිටින්නේය.

    මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබේ.

     

    Latest News