ශ්‍රී ලංකාවේ සංහිඳියා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය දේශපාලන දැක්ම පැහැදිලියි: අගමැති මෝදි (ඡායාරූප)

නොවැ 29, 2019
  • ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක පිරිනමන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද නවදිල්ලි අගනුවරදී (29) පැවැසීය.

    ශක්තිමත් රටකට ශ්‍රී ලාංකික ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් දී ඇති බව කී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඉන්දියාවේ මෙන්ම ඉන්දීය සාගර කලාපයේ ද බලාපොරොත්තු යැයි ද පැවසිය.

    ඉන්දියාවේ නවදිල්ලි නුවර ‘රාශ්ඨපති භවන්’ හිදී ත්‍රිවිධ හමුදා ආචාර ද ඇතිව උත්සවාකාරයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබීය.

    ඉන් අනතුරුව ඉන්දියාවේ නවදිල්ලි නුවර ‘හයිද්‍රාබාද් හවුස්’ නිල නිවස්නයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වූහ.


    අපගේ ‘අසල්වැසියා පළමුවෙන්’ යන විදේශ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතාවලට ප්‍රමුඛත්වය දෙන බව ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් සබඳතාවක් තිබෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම මාධ්‍ය හමුවේදී කීය. ඉන්දියාව සෑම විටම ත්‍රස්තවාදය එරෙහිව සටන් කරමින් ත්‍රස්තවාදීන්ට දඬුවම් කළ බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමටත් බුද්ධි අංශ ශක්තිමත් කරමින් ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

    ඉන්දීය නිවාස ව්‍යාපෘතීය යටතේ ශ්‍රී ලංකාව තුළ දැනටමත් නිවාස 46,000ක් ඉදිකර ඇති බවත් දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශවල තවත් නිවාස 14,000ක් ඉදිකරන බවත් හෙතෙම කීය. සූර්ය බල ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් දෙන බව ද අගමැති මෝදි මහතා පැවැසීය.

    ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවාලිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ජාතීන් හා වාර්ගික සහජීවනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන දැක්ම තමන්ට පැහැදිලි කළ බව ද හෙතෙම කීය.

    gotabayamodil33 px 900 19 1

    gotabayamodil2 px 900 19 11

    gotabayamodil1 px 900 19 11

    තම ධූරකාලයේ දී ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර නිල හමුව අද (29) පෙරවරුවේ පැවැත් වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාව වෙත ගිය ජනාධිපතිවරයා, චාරිත්‍රානුකූලව පිළිගැනීම රාෂ්ට්‍රපතිභවන්හි දී මහත් හරසරින් සිදුකෙරිණි.

    එහිදී ඉන්දීය රජය එරටට පැමිණෙන රාජ්‍ය නායකයෙක් වෙත පිරිනමන හමුදා උත්තමාචාර පිරිනමමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

    අනතුරුව ජනාධිපතිවරු දෙපළ අතර හමුව සිදුවිය.

    ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුභාශීංසන පළ කළ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා මෙම හමුව දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරන සුවිශේෂ අවස්ථාවක් බව සඳහන් කළේය.

    නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදය පළ කළ ඉන්දීය ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තම රජයේ පූර්ණ සහය ලබා දෙන බව ද පැවසීය.

    මෙම හමුවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් (S.Jaishankar) ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං (VK Singh) යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වුහ.

    ඉන් අනතුරුව රාජ් ගාත්(Raj Ghat) වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුව වෙත ගොස් උපහාර දැක්විය.

    විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වු සැමරුම් පොතේ අත්සන් තැබීම ද මෙහිදී සිදුකෙරිණ.

    Last modified on සෙනසුරාදා, 30 නොවැම්බර් 2019 09:30

    Latest News