ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධ ලිපි ගොනු මා ළඟ නෑ: පෙත්සම අදට අවසන් (වීඩියෝ)

ඔක් 02, 2019

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම අද(02) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ සිදුකෙරණ.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදුවිය.

    පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන හා විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දැක්වා ඇත. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය හා සම්බන්ධ අයදුම්පත් හා ලියකිවිලි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ඔහු ඒ අවස්ථාවේ දැනුම් දී තිබේ.

    2007 ට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට දැනගන්නට ලැබෙන බවත් , ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප්‍රකාශන නොකරන බවත් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනු⁣වෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර ඇත. තවද එම ලියකියවිලි නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බවද ඔහු පෙන්වා දී තිබේ.

    ඊට පිළිතුරු කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ එම චෝදනා අසත්‍ය බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපි ගොනුවක් විනාශ කර නොමැති බවද කියා සිටියේය.

    එසේම මෙහිදී මූලික විරෝධතා මතු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බවද සඳහන් කර ඇත. මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පැවැත්වෙන මේ දක්වා අවසන් කර නොමැති පරීක්ෂණයක කරුණු පදනම් කරගෙන මේ ආකාරයෙන් පෙත්සමක් ඉදිරිපත් කර එය විභාගයට ගැනීම බරපතළ ලෙස ගැටළු සහගත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා යම් හෙයකින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන පරීක්ෂණයෙන් තම සේවාදායකයා නිදොස් බවට තීරණයක් පැමිණියහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇති බවද සඳහන් කර තිබේ.

    මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන මෙම නඩුවට අදාළ පරීක්ෂණය සම්බන්ධ ලේඛන ලබා දෙන මෙන් තමන් මීට පෙර දින අධිකරණය හරහා වගඋත්තර කරුවන්ගෙන් ඉල්ලීම් කර තිබුණත් එම ලේඛන වලින් තෝරාගත් කොටස් කිහිපයක් පමණක් තමන් වෙත ලබාදී ඇති බවත් සම්පූර්ණ ලේඛන ගොනුව නොමැතිව මෙම නඩුව හා සම්බන්ධව කරුණු දැක්වීමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදු විය හැකි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර ඇත.

    මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන මෙම විරෝධතාව පිළිබඳව ඉදිරියේ දී කරුණු සලකා බලන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කර ඇත. කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශවයට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඒ අනුව පෙත්සම්කරුවන්ට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවයි.

    පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බවයි නීතිඥ ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

    එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව පෙන්වා දුන්නේ සුරේන් ප්‍රනාන්දු මහතා නීති විරෝධී ක්‍රියාවක් බවයි ප්‍රකාශ කළේ.

    ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව කියන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

    වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කර තිබේ.

    අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බවයි ඔහු සඳහන් කර ඇත.

    අදට නියමිත කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර වැඩිදුර කරුණු සලකා බැලීම හෙට 13.30 තෙක් කල් තබා තිබේ.

    සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 20:33

    Latest News