රණවිරු උපවාසයට පැමිණි පිටස්තර පිරිසකට දැඩි විරෝධය (වීඩියෝ)

සැප් 25, 2019

    කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට පැමිණි පිටස්තර පිරිසකට ඔවුන්ගෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.

    එම පිටස්තර පිරිස පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මන්ත්‍රණයකින් අනතුරුවයි.

    ඔවුන් කියා සිටියේ පසුගිය රජය සමයේ ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටලු විසඳීමට අවස්ථාව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පසුගිය රජය කිසිදු පියවරක් නොගත් බවත්ය. එමනිසා මේ අවස්ථාවේ ඔවුන්ගේ උද්ඝෝෂණය දේශපාලන වාසියක් ලෙස යොදා නොගන්නා ලෙස ඔවුහු ප්‍රකාශ කළහ.

    සියලු ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය ඊයේ තීරණය කළේය. මේ අනුව ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයින්ට විශ්‍රාම ගිය පසුව ඔවුන් අවසන් වරට ලැබූ වැටුපට සමාන විශ්‍රාම වැටුපක් දිවි ඇති තෙක් පිරිනැමේ.

    ඊයේ(24) සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම අඛණ්ඩව සිදුවේ. ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් පිරිනැමේ.

    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2019 22:18

    Latest News