ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර අදට වසර 14 ක්

මැයි 18, 2023

    කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය පූර්ණ ලෙස නිදහස් කර ගෙන අදට වසර 14 ක් සපිරෙනවා.

    ඒ වන විටත් සිය සාහසිකත්වය සහ ම්ලේච්ඡත්වය ලොවටම ප්‍රදර්ශනය කර තිබූ එල්ටීටීඊ සංවිධානය සිය අවසන් ගමන් යාම ආරම්භ කළේ, 2006 ජුලි මාසයේදී. ඒ ඔවුන්ගේ ම්ලේච්ඡත්වය හා එදිරිවාදිකම කෘෂිකාර්මික ජල සැපයුමක් වසා දමා යළි ප්‍රදර්ශනය කරමින්. සේරුනුවර, මාවිල්ආරු අමුණ වසා දමා කෘෂිකාර්මික හා පානීය ජල සැපයුම අත්හිටුවූ කොටි ත්‍රස්තවාදීන් සේරුනුවර ගොවිජනපද ව්‍යාපාරයේ අක්කර තිස්දහසකට ආසන්න ඉඩම් ප්‍රමාණයකට හානි සිදු කළා. එම නිසා ප්‍රදේශයේ දසදහස් සංඛ්‍යාත පවුල් සංඛ්‍යාවකට සිය දෛනික අවශ්‍යතා සඳහා ජලය නොමැතිවීමෙන් උද්ගතවූයේ දැඩි අර්බුදයක්. අමුණ විවෘත කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම් හා දැනුම්දීම් කිසිවක් නොතකන ලද පසුබිමක අවසානයේ සිදු වූයේ අමුණ විවෘත කර ගැනීමට මානුෂීය මෙහෙයුමක් ආරම්භ කිරීමයි. ඒ අනුව, සති දෙකක පමණ ක්‍රියාන්විතයකින් පසු යළි ගොවීන්ගේ ජල සැපයුම සපයා දීමට යුද හමුදාව සමත් වුණා. ඒ සමග නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරිත්වය මුළුමණින්ම අඩපන කිරීමේ ක්‍රියාන්විතය ආරම්භ කිරීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාවට නියෝග කළා. එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් හා යුද හමුදාපති ලුතිතන් ජෙනරල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සැලසුම්ගත යුද නායකත්වයෙන් නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේ ඒ අනුවයි.

    එවක එල්ටීටීඊ සංවිධානයේ පාලනය පැවති සාම්පූර්, වෙරුගල්, පේරාරු, වාකරේ, කදිරවේලි, තොප්පිගල සහ කන්ජිකුඩිච්චිආරු ප්‍රදේශ දක්වා එම ක්‍රියාන්විතය ව්‍යාප්ත කෙරුණා. දශක දෙකකට වැඩි කාලයක් කුරිරු ත්‍රස්තවාදයෙන් බැටකමින් බොහෝ කලක් වනගතව රැය පහන් කරමින් සිටි නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට පූර්ණ නිදහස හිමිවූයේ 2007 ජුලි මාසයේ නැගෙනහිර පළාත මුළුමණින්ම ත්‍රස්තවාදයෙන් තොර බවට ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

    ඉන් අනතුරුව ත්‍රස්තවාදයෙන් සමස්ත ශ්‍රී ලංකාව මුදා ගැනීමේ ඊළඟ පියවර තැබූ ආරක්ෂක හමුදාව මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙන් ක්‍රියාන්විතය ආරම්භ කළා. එම ප්‍රදේශය මුදාගත් පළමු කාර්ය සේනාංකය, පසුව වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අණදුන් 58 සේනාංකය බවට පත්වී අඩම්පන් ප්‍රදේශය ඔස්සේ මන්නාරමෙන් උතුරට සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඊට සමගාමීව 57 සේනාංකය වවුනියා ඉරනෙයිඉලුප්පායිකුලම් ප්‍රදේශයෙන්ද 59 සේනාංකය වැලිඔය ප්‍රදේශයෙන්ද ත්‍රස්තවාදය නිමා කිරීමේ මානුෂීය ක්‍රියාන්විතයට පියවර තැබුවා. දෙවන කාර්ය සේනාංකය පාලමොටෙයි ප්‍රදේශයන්ද, තුන්වන කාර්ය සේනාංකය වන්නිවිලන්කුලම් ප්‍රදේශයෙන්ද, හතරවන කාර්ය සේනාංකය නෙදුන්කර්නි ප්‍රදේශයෙන්ද සිය මෙ‍හෙයුම් ආරම්භ කරමින් ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන වේගවත් කිරීමට එක් වුණා. ඒ අතරතුර උතුරේ ජාතික පෙරමුණ වූ කිලාලි මුහමලේ නාගර්කෝවිල් ආරක්ෂක වලල්ල රැක ගනිමින් සිටි 53 හා 55 සේනාංක ත්‍රස්තවාදී බැමි බිඳ දමමින් දකුණු දෙසට මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

    සටන් පෙරමුණු 9 කින් තෙරපීමකට ලක් කළ කොටි සංවිධානයට එරෙහිව අවසන් වශයෙන් ක්‍රියාන්විතයට එක් වූයේ 8 වැනි කාර්ය සේනාංකයයි. 2009 පෙබරවාරි මාසය වන විට මේ සටන් පෙරමුණු සියල්ලෙන්ම අන්ත පරාජයකට පත් වෙමින් පැමිණි ත්‍රස්තවාදී කල්ලිය පුදුකුඩුඉරුප්පු ආශ්‍රිත වර්ග කිලෝමීටර කිහිපයක බිම් කඩකඩ සීමා වුණා. එහිදී ඔවුන් සිය ආරක්ෂක පලිහ ලෙස යොදා ගත්තේ උතුරු පළාතේ ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය වැසියන්. අහිංසක සිවිල් වැසියන්ට කිසිදු හානියක් නොවන අයුරින් ත්‍රස්තවාදීන්ගෙන් ඔවුන් මුදා ගැනීමේ යුද උපාය හා සැලසුම් සකස් කිරීමට වීරෝදාර රණවිරුවන් සමත් වුණා. 2009 අප්‍රෙල් මාසයේ සිට වරින් වර සාමාන්‍ය වැසියන් සමූහ වශයෙන් රජයේ පාලන ප්‍රදේශ වෙත කැඳවා ගනු ලැබුවේ එම උපාය උපක්‍රම අනුවයි. ඒ අනුව, සියලු සාමාන්‍ය වැසියන් ත්‍රස්තවාදී ග්‍රහනයෙන් මුදා ගනිමින් එල්ටීටීඊ සංවිධානය යටතේ පාලනය වූ සම්පූර්ණ ශ්‍රී ලංකා භූමිය ආරක්ෂක හමුදා යටතට පත් කර ගැනීමෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි විජයග්‍රහණය 2009.05.18 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා. ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමූ බව නිවේදනය කෙරුණේ, මැයි 19 වැනි දින කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කුඩා ත්‍රස්තවාදී කල්ලිය යුද හමුදා ප්‍රහාරයකින් මිය යාමත් සමගයි. යුද, නාවික, ගුවන් හමුදාවන්ට අමතරව, ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම සිවිල් ආරක්ෂක බලකායද මානුෂීය ක්‍රියාන්විතයට සෘජු සහ අමිල දායකත්වයක් ලබා දුන්නා.

    යුද හමුදාව ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින්, ඉදිරියට ගමන් කිරීමේදී අත්පත් කරගත් ප්‍රදේශ බොහෝ විට ආරක්ෂා කර ගනු ලැබුවේ පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය එක්වයි. එසේම, පොලිස් විශේෂ කාර්ය බලකායද නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක ත්‍රස්තවාදයට එරෙහි සෘජු මෙහෙයුම් ක්‍රියාත්මක කළා. රණවිරුවන් එදා ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයෙන් සාමාන්‍ය ජනතාව මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, පසුව එම රණවිරුවන් ර‍ටේම ජනතාව වෛරසයකින් මුදා ගැනීමේ තවත් බරපතල මානුෂීය ක්‍රියාන්විතයකට පසුගිය සමයේ උරදී ක්‍රියා කළා.

    Latest News