ජනාධිපතිධූරයට පමණක් නොව, සක්විති රජකමටත් තම ආත්ම ගරුත්වය පාවා දෙන්නේ නැහැ; අමාත්‍ය සජිත් (වීඩියෝ)

සැප් 25, 2019

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ කලුතර දිස්ත්‍රික් රැලිය මතුගම මහජන ක්‍රීඩාංගණයේ දී අද (25) පැවැත්විණ.

    එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකවරයා පිළිගැනීම සඳහා විශාල පිරිසක් මතුගම ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි බව අප වාර්තාකරු පවසයි. එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල මැති-ඇමතිවරුන් රැසක් ද මීට එක්වූහ. ජනාධිපතිධූරයට පමණක් නොව සක්විති රජකමටත් තම ආත්ම ගරුත්වය පාවා දෙන්නේ නැතැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා....

    “අපේ රටට අලුත් ගමනක් අවශ්‍යයි. ජවසම්පන්න ගමනක් අවශ්‍යයි. අපේ රටට නව දර්ශනයක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඔස්සේ අපේ රට මුළු ලොවම ජයග්‍රහණය කරවන මහා දැවැන්ත වූ මාතෘ භූමියක් හැටියට නිර්මාණය කරන යුගය අපේ රටට අවශ්‍යයි. මිත්‍රවරුනි නූපන් දරුවගේ ඉඳලා පෙර පාසල් දරුවගේ ඉඳලා, ගර්භනී අම්මලගේ ඉඳලා, ළදරු පරපුරේ, දරු පරපුරේ සිට තරුණ පරපුර දක්වා, වැඩිහිටි පරපුර දක්වා, පුරුෂ, කාන්තා දෙපක්‍ෂයේම එකට වෙලාගත් මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් දියත් කිරීමට අපි සැදී-පැහැදී සිටිනවා. ජන සමාජයේ දුප්පතාගේ ඉඳලා, සුළු මධ්‍යම පාන්තිකයාගේ ඉඳලා, මධ්‍යම පාන්තිකයාගේ ඉඳලා, රාජ්‍ය සේවකයා ඇතුළු ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වා මේ හැම කොට්ඨාසයම එකට එකතු කරගත් යුගයක්, ශක්තිය නිර්මාණය කරන යුගයක්, ඒ හැම දෙනාගේම ජවය කේන්ද්‍ර කරගනිමින් ඒ ජවය හරහා නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාවකට අපි සැරසෙමු. මම ලැහැස්තියි තමුන්නාන්සේලාට ආදර්ශමත් නායකත්වයක් ලබාදෙන්න. මට එල්ල වන බාධා අරුම, පුදුම බාධා, අසීමිත බාධා. නමුත් හොඳට මතක තියාගන්න වසර ගණනාවක මහජන සේවාව කරලා මමත් දැන් හොඳට තෙම්පරාදු වෙලා ඉන්න කියන එකත් වටහා ගත්තොත් හොඳයි කියන එක මම කියන්න කැමතියි. ඒ නිසා මිත්‍රවරුණි, කුමන බාධා ආවත්, කුමන ප්‍රශ්න ආවත්, කුමන ගැටලු ආවත්, කවුරු කුමන ද්‍රෝහිකම් කළත්, මෙදා පාර රට ගොඩනඟන සජිත් ප්‍රේමදාස ගමන මොන ජගතෙකුටවත් නතර කරන්නට බැරිවෙයි කියන එක ඔබලාට ප්‍රකාශ කරමින්, ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි, දෙවි පිහිටයි“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2019 22:31

    Latest News