රටේ සංවර්ධනය සියයට පන්සියයකින් වැඩි කරනවා - ඇමති රවී

සැප් 18, 2019

    2015 ලබාදුන් ජනතා වරමෙන් සිදුකළ සංවර්ධන වැඩපිළිවෙල, 2019 ජන වරමත් සමගින් සියයට පන්සියයකින් වැඩි කරන්න එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙනවා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කලේ, කොළඹ නගරයේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ඉදිකල නිවාස යෝජනා ක්‍රම 03 ක් ජනතා අයිතියට කැපකිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙම මහල් නිවාස සංකීරණයේ සමස්ත පිරිවැය රු. මිලියන 15,924 කි. මහල් 15 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය විදුලි සෝපාන, ප්‍රජා ශාලා ඇතුළු අනෙක් ප්‍රධාන අංගෝපාංගයන්ගෙන් සමන්විත වේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    "අද අපි නිවාස 3300 ක් ජනතා අයිතියට පවරනවා. ඒ වගේම තවත් ගෙවල් 12,000 ක් වෙනුවෙන් මුල්ගල් තියලා තිබෙනවා. මේ නිවාසත් ඉදිවීමෙන් අනතුරුව, තවත් නිවාස 50,000 ක අවශ්‍යතාවක් තිබෙනවා කොළඹ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන්. ජනතාවගේ මෙම මූලික අවශ්‍යතා සපුරාදෙමින් ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් උදාකරන්න අපි ආර්ථිකය සකසා ගතයුතුයි. අද අපි ජනතාවගේ වැටුප් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප් වැඩි කරලා තිබෙනවා. රටේ ආදායමෙන් 63% ක් වැටුප් වෙනුවෙනුත්, 18% ක් පිං පඩි වෙනුවෙනුත් වැය වෙනවා. මේ සියලුම කාරණා සමග රටේ සංවර්ධන සිදු කරන එක විශාල අභියෝගයක්. මේ අභියෝග මැද්දේ අප ලැබූ සංවර්ධනය දැකලා, අන්තවාදයට අතවනන පිරිසක් සිටිනවා අපි අතරේ. ඔවුන් අපේ සහජීවනය නැති කරන්න හදනවා. නමුත් අද අපට සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට මේ මගේ රට කියලා අනන්‍යතාවයකින් යුතුව ජීවත්විය හැකි වාතාවරණයක් ඇති කරන්න හැකිවෙලා තිබෙනවා.

    අප අපේ නීති පද්ධතිය ස්වාධීන වෙලා. පොලීසිය තමන්ට අවශ්‍ය පරිදි ස්වාධීනව කටයුතු කරනවා. මාධ්‍යට සැබෑ නිදහසක් ලැබිලා තිබෙනවා. ඒ හැම දේකටමත් වඩා අපට අවශ්‍ය වන්නේ රටේ ජනතාවගේ සුරක්ෂිතබාවයයි. අපේ රජය යටතේ ඒ තත්ත්වය රට තුළ ස්ථාපිත කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක්. මේක තමයි අපි ලැබූ සැබෑම සංවර්ධනය. එදා කිව්වේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. නමුත් අද වෙලා තියන්නේ ඒකෙ අනිත් පැත්ත. ඒ තරමටම සංවර්ධනය ගමට ගෙනියන්න අපිට හැකිවුණා" යැයි පැවසීය.

    Latest News