“පුලතිසි” ශීඝ‍්‍රගාමී දුම්රිය ජනපති ප‍්‍රධානත්වයෙන් ගමන් අරඹයි (වීඩියෝ)

සැප් 11, 2019

    කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන “පුලතිසි”නගරාන්තර ශිඝ‍්‍රගාමී දුම්රිය අද (11)පස්වරුවේ ගමන් ඇරඹීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම මංගල ගමනට එක්වෙමින් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ලැබීය.

    දිනපතා සවස 3.00 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය රාත්‍රී 7.45 වනවිට පොළොන්නරුවට ළගාවීමට නියමිතව ඇත. පසුදින අලූයම 3.45ට පොළොන්නරුවේ සිට කොටුව දක්වා යළි ගමන් ආරම්භ කරන දුම්රිය පෙ.ව 9.06 වනවිට කොටුව දුම්රිය ස්ථානයට ළගාවනු ඇත. මෙම නව ශීඝ‍්‍රගාමී දුම්රිය පොළොන්නරුව, කුරුණෑගල, මහව, කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.

    ශ‍්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින් එක්වූ “පුලතිසි”නගරාන්තර ශිඝ‍්‍රගාමී දුම්රිය එස් 13වර්ගයේ අතිසුඛෝපභෝගී දුම්රියකි. කොළඹ කොටුව - පොළොන්නරුව අතර විශේෂ දුම්රිය සේවාවක් මෑත දශක කිහිපයේදී ක්‍රියාත්මක නොවූ අතර එම අඩුව සපුරාලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත් වීමෙන් පුලතිසි ශීඝ‍්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරිණි.

    මේ අතර මරදාන ප‍්‍රධාන දුම්රිය පාලක මැදිරිය ද අද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරුන් ද ඉන්දියානු මහකොමසාරිස්වරයා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 19:24

    Latest News