ඖෂධ තොග රැස් කිරිමට ජනපතිගෙන් උපදෙස්

නොවැ 23, 2018

    දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇති බවට ගෙන යන ප‍්‍රචාරයන්හි සත්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පෙරවරුවේ හදිසි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවි තිබේ.

    නිදහස් සෞඛ්‍ය සේවාව කිසිදු අවස්ථාවක දුර්වලවීමට ඉඩ නොතැබිය යුතු අතර, රටේ සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් සෑම අවස්ථාවකම එය ශක්තිමත් සහ කාර්යක්ෂම කළ යුතු බව ජනපති අවධාරණය කළේය.

    යම් ක්ෂේත‍්‍රයක, යම් අඩුපාඩුවක් සිදුව ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දුන්නේය. ඉදිරි මාසවලට ප‍්‍රමාණවත් පරිදි ඖෂධ තොග පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ඉදිරියට ගන්නා ලෙස ද නිලධාරින්ට උපදෙස් දී ඇත. ජනතාව නොසන්සුන් කිරීම උදෙසා ඇතැම් පාර්ශ්වයන් විසින් ගෙන යන මෙම අසත්‍ය ප‍්‍රචාරයන් නිවැරදි කරමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වකුගඩු රෝග පාලනය, නිවාරණය සහ මර්දනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳව ද ඔහු කරුණූ විමසීය.

    පසුගිය වසරවලට සාපේක්ෂව 2017 වසරේ වකුගඩු රෝගින්ගේ ප‍්‍රමාණයේ අඩුවීමක් සිදුව ඇති බව මෙහිදී අදාළ අංශ විසින් පෙන්වා දුන් අතර වකුගඩු රෝගය මර්ධනය වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ ඊට හේතු වී ඇති බවත් වකුගඩු රෝගය පැතිර යන ප‍්‍රදේශවල ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති ඉදිරිකිරීමට වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය ගෙන යන වැඩසටහනේ සාර්ථක ප‍්‍රගතියක් දක්නට තිබෙන බවත් පෙන්වා දුන්හ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුම ප‍්‍රකාශ කළේ එම වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ඉදිරියේ දී වඩාත් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකි වනු ඇති බවයි.

    පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ගෙන යන වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳව ද අධීක්ෂණයට ලක් කෙරුණු අතර ලබන වසරේ සිට පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමට යෝජිත වැඩසටහනේ ඉදිරි පියවර ද ජනාධිපතිතුමා විමසා බැලීය.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    03 14 1024x322

    Latest News