අල්ලස් ගත් විදුහල්පති තවදුරටත් රිමාන්ඩ්

ජන 04, 2022

    අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු තවදුරටත් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබිය. අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවයි.

    ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා අසත්‍ය පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ඔහුගේ එක් දරුවකු මේ වන විට රෝහල්ගතව සිටින බවත් තවත් දරුවකු මෙම වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිටින බවත් දන්වා සිටි විත්තියේ නීතිඥවරයා මීට අදාළව මීළඟ දිනයේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් පැවසීය. 

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අධිකරණය අනතුරුව මෙම සැකකරු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

    හත් වන ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ. 

    Latest News