අල්ලස් චෝදනාවකට ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකුට වසර 20ක සිරදඬුවමක්

මාර් 13, 2020

    අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ තක්සේරුකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් නියම කර තිබේ.

    රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලය ජේෂ්ඨ තක්සේරුකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් නියම කර එය වසර 5 කින් ගෙවී යා යුතු බවට නියෝග කර ඇත.

    ඊට අමතරව රුපියල්ක 20,000 දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූහොත් අමතරව වසර හතරක සිර දඬුවම් නියම කරන බවයි නියම කළේ.

    ඊට අමතරව අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් දස දහසක මුදල දණ්ඩණයක් වශයෙන් අයකර ගන්නා ලෙසද නියෝග කෙරිණි. එමෙන්ම මෙම නඩුවේ පැමිණිලිකරුට රුපියල් 25,000 ක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා විසින් විත්තිකරුට නියෝග කර ලදී.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අදාළ තීන්දුව ලබා දී තිබේ.

    2016 වසරේ ජූනි මස පළවන දා ප්‍රියන්ත ලහිරු රූපසිංහ නමැති අයෙකු විසින් මිලදී ගැනීමට සූදානම් වූ ඉඩමකට අදාළ තක්සේරු වටිනාකමට වඩා අඩු වටිනාකමක් සහිත සහතිකයක් ලබාදීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කර තිබේ. ඉන් අනතුරුව මෙම දඬුවම් ප්‍රකාශයට පත් කර ඇත.

    Last modified on සිකුරාදා, 13 මාර්තු 2020 18:16

    Latest News