අල්ලස් චෝදනාවකට වරදකරුවන් වූ මහනාම සහ පියදාස ගේ අභියාචනය මාර්තු 16

පෙබ 03, 2021

    අල්ලස් චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි.

    අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහත්වරු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 16 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

    විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන,එස්. තුරේයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එච්. කේ. මහනාම මහතාට ඉකුත් 2019 වසරේ දෙසැම්බර් මස 19 වනදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් සහ රුපියල් 65000/- ක දඩයක් ද නියම කර තිබුණා.

    එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 ක දඩයක් නියම කර තිබුණි.

    එම දඬුවම් තමන්ට නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එය අහෝසි කරන සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

    එම අභියාචනා පෙත්සම අද සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ඒවා මාර්තු මස 16 වන දා විභාගයට ගැනීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    Latest News