සරම්ප තුරන් කළ 5වන අග්නිදිග ආසියාතික රට ලෙස ශ්‍රී ලංකාව සම්මානයට

සැප් 06, 2019

    සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ 5වන අග්නිදිග ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

    ඒ සදහා පිරිනැමුණු ඇගයීම් සහතික පත්‍රය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමින. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයීය 72වන සමුළුව අතරතුරදීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක ප්‍රමුඛතා වැඩසටහනක් ලෙස 2014 වසරේ සිට මෙම සරම්ප රෝග මර්දන වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් කෙත්‍රපාල් සිං මහත්මිය ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් අතින් මෙම පිරිනැමීම සිදු කෙරිණ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයීය සමුළුව 72වන වරට පසුගිය සැප්තැම්බර් 2 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ විය.

    මීට පෙරද අවස්ථා රැසකදී මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇගයීමට ලක්කර ඇත. එම සෞඛ්‍ය ව්‍යාපෘතීන්හි සාර්ථකත්වය මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු උප සභාපති වශයෙන් තේරී පත්වූ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙරට නිදහස් සෞඛ්‍ය උදෙසා සිදු කළ අනුපමේය මෙහෙය වෙනුවෙන් පිට පිටම දෙවන වරටත් එම ධුරයට පත් කිරීම සිදු කෙරිණ.

    ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව මෙතරම් දියුණු මට්ටමක් දක්වා වර්ධනය කර තිබීම පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයීය කමිටුව මෙන්ම අග්නිදිග ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත සිය සුබාසිංශන පිරිනමන ලදී.

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2019 18:39

    Latest News