නීති තර්ක නවතා ගෝඨාගේ ඇමරිකානු පුරවැසි අවසන් සහතිකය පෙන්වන්න - ඇමති රාජිතගෙන් අභියෝගයක්

නොවැ 12, 2019

    ජනාධිපතිධුරය වෙනුවෙන් තරගකරන පුද්ගලයෙකුගේ පුරවැසිභාවය පිළිබද ප්‍රශ්න කිරීම ඛේදවාචකයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ලෝක දේශපාලන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවන් අර්බුදයක් ඇතිවී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඇමරිකානුවෙක්ද? ශ්‍රී ලාංකිකයෙක්ද? යන්න රටවැසියා ප්‍රශ්න කරන පසුබිමක ජනාධිපතිධුරය තබා ගම්සභා මන්ත්‍රිධුරයක් හෝ හොබවන්නේ කෙසේදැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්නකර සිටියි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කළේ අද පස්වරුවේ (12) නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදීය.

    දෙවන දිනටත් උපවාසයේ නිරත පූජ්‍ය අචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් හමුවීමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය. ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිලිබද නිවැරදි ලේඛන ඉදිරිපත් කළ යුතු බව පවසමින් උන්වහන්සේ විසින් මෙම උපවාසය ආරම්භ කර ඇත.

    එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ මෙරට පුරවැසියන් නගන මේ ප්‍රශ්නයට වහාම පිලිතුරු සැපයිය යුතු බවයි.

    එදා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහිමිවීම පිළිබදවද දොස්තර රාජිත සේනාරත්න මහතා සිහිපත් කළේය. ද්විත්ව පුරවැසිභාවය, මැතිවරණයකට ඉදිරිපත්වීමේදී සොයා නොබැලෙන නමුත් පසුකාලීනව අධිකරණය ඉදිරියේ වරදකරු වීමෙන් ඇය භුකිති විදි සියලු වැටුප් ආදී සියලු රාජ්‍ය වත්කම් නැවත ගෙවීමට සිදු විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද ලේඛන, මැතිවරණ කොමසාරිස්තුමන් වෙත ඉදිරිපත් කර නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී සදහන් කළේය. ඇමරිකානු පුරවැසිභාවය අවසන් කිරීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් එය අවසන් කිරීමේ සහතිකයක් නිකුත් කරනු ලබයි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේ එම සහතිකය ඉදිරිපත් කිරීමෙන් ගැටළු සියල්ල නිරාකරණය වනු ඇති බවයි. නීත්‍යානුකූල ලේඛන ඉදිරිපත් නොකර කල්මැරීමෙන් එහි ගැටළුවක් ඇති බව තව තවත් තහවුරු වෙමින් ඇත. අවශ්‍යවන්නේ නීතීඥවරුන්ගේ තර්ක දැක්වීම් නොව අදාළ ලේඛනයි. මෙම රංගනයට ඇමරිකාවේද සහය හිමිවනවා සේම ඇමරිකාවට අවශ්‍ය සියලු කාර්යයන් ඉටු කරගැනීමට හැකියාව ලැබෙනු ඇති.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දුන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේ ගෝඨාභය මහතා ඉදිරිපත් කර ඇති ලේඛන අතර ඇමරිකානු රජය නිකුත් කරන නිල සහතිකය නොමැති බවයි. එමෙන්ම දැනට ඉදිරිපත් කර ඇති ලේඛනයන්ගේද දෝෂයන් සහිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ පිලිබද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් අතර අග්‍රාමාත්‍යවරයා සහ නීතීඥවරුන් සමග ඒ පිළබද සාකච්ඡා කෙරෙන බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියි.

     

     

     

    Last modified on අඟහරුවාදා, 12 නොවැම්බර් 2019 20:19

    Latest News