මේ දවස්වල අපි කොළඹ "අලි" පෙරහර සංවිධානය කරනවා: ඇමති රජිත

සැප් 23, 2019

    මේ දවස්වල අපි කොළඹ "අලි" පෙරහර සංවිධානය කරනවා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඩොලර් පවුම් පන්සල්වලට නොලැබෙන බව බෞද්ධයින් සිහි තබා ගත යුතු බවත් ඔහු කියා සිටියේය. ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ පූර්ණ අනුශාසනාව මත සංවිධානාය කර 05 වන වරට පැවැති බිනර පෙරහරේ ආරම්භක උත්සව අවස්ථාවට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - " මාගල්කන්දේ සුදත්ත හිමි කිවුවාම මේ පළාතේ විතරක් නොවෙයි ලංකාවේ ඕනෑම තැනක කෙනෙක් දන්නවා. ඊටත් වඩා හොදින් උන් වහන්සේගේ සංවිධානයේ නම කිව්වාම දන්නවා. පසුගිය කාලයේ මටත් උන් වහන්සේ ඇසුරු කරන්න ලැබුනා. මුලින්ම මම මෙතනට එනකොට මෙතරම් විශාල සංවර්ධනයක් තිබුනේ නැහැ. කෙටි කාලයක දී බොහෝ සංවර්ධන කටයුතු ඉතා ලස්සනට සිදු කොට තිබෙනවා. පෙරහර පැවැත්වීම සදහා විශාල මුදලක් වැය වෙනවා. මිලියණ ගණනක්. කිසිදු භේදයකින් තොරව හැම කෙනාගෙන්ම උදව් උපකාර අරගෙන එම කටයුතු සිදු කරන්න ඕනි. "

    "උන් වහන්සේ කිව්වා අද උදේ වෙනකන් බයෙන් හිටියේ කියලා. අපිත් එක්ක වැඩ කරන කොට බය වෙන්න ඕන නැහැ. කොහොම හරි වැඩේ කෙරෙනවා. මට උන්වහන්සේ සමග සම්බන්ධ වීමට නොහැකි වුනා. කාර්ය බහුල වීම නිසා උන්වහන්සේ පවරපු කටයුතු පවා මට කරන්න බැරි වුනා. නමුත් පෙරහර ට අදාල මූලික වැඩකටයුතු අපි කළා. උන් වහන්සේගේ පෙරහරට වඩා ලොකු පෙරහර ක්, අපි මේ දවස්වල කොළඹ කරනවා. අපේ පක්ෂයේ පෙරහර ට අලි ලෑස්ති කරනවා. මේ පළාතේ දරු දැරියන්ට ප්‍රදේශවාසීන්ට මේ පෙරහැර බැලීමට අද අවස්ථාව උදාවෙලා තිබෙනවා. අපි, අපේ යුතුකම විදිහට කළ හැකි සෑම උපකාරයක්ම කළ යුතුයි. මොකද අපේ බෞද්ධ සිද්ධස්ථාන වලට පිට රට ඉදලා ස්ටර්ලින් පවුම් එන්නේ නැහැ. යුරෝ එන්නේ නැහැ. ඩොලර් එන්නෙත් නැහැ. ඒ නිසා මේ සදහා වියදම් වෙන්නේ අපේම රුපියල් සත. අපි මේක අවබෝධ කර ගත යුතු යැයි“ ඔහු පැවසීයි.

    උත්සව අවස්ථාවෙන් අනතුරුව පෙරහර ආරම්භය සනිටුහන් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සධාතුක කරඩුව පෙරහර මංගල හස්තිරාජයා මත තැන්පත් කරන ලදි. "

    මෙම අවස්ථාවට පලාතොට ගංගාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති, කළුතර තොටමුණේ උපප්‍රධාන සංඝනායක, දුවේගොඩ ධම්මාරාම නාහිමියන්, පූර්වාරාම ධර්මවිජය පිරිවෙණේ පරිවණේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ නායක මාහිමිපාණන් වහන්සේ, බේරුවල ශාසණාරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති මාගල්කන්දේ ධම්මානන්ද නාහිමියන්, මාගල්කන්දේ විහාරස්ථානයේ විහාරාධිපති මාගල්කන්දේ සුදත්ත නාහිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධ මහතා ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ministerrajitha1 px 900 192

    Latest News