අපේ ජනාධිපති සටන අදින් ඇරඹුණා: උත්සහය 2020 ආණ්ඩුවක් (විඩියෝ)

සැප් 03, 2019
  • මීළඟ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලිකත්වයෙන් ස්වදේශිකවාදී හා මානවවාදී පුළුල් පෙරමුණක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 68 වැනි සංවත්සර සමුවේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමුළුව අද සවස පැවැත්විණ.

    “තීන්දුව හරි අතට“ මෙවර තේමාවයි. සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ආරම්භ වූ සමුළුවට සහෝදර දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් මෙන්ම, කියුබාව, චීනය, රුසියාව වැනි රටවල දේශපාලන නියෝජිතවරුන්ට ද ආරාධනා කර තිබිණ. ශ්‍රී ලංකාව ගොඩනැගීමේ අනාගත වැඩපිලිවෙළ ඇතුලත් “සුනිල ජනවාදය“ සැලැස්ම ජනාධිපතිතුමාට පිළිගන්වනු ලැබුවේ පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසිනි. දූෂිත ප්‍රභූ දේශපාලනයෙන් සහ ව්‍යාජ දේශප්‍රේමිත්වයෙන් පිරි ශ්‍රී ලාංකික දේශපාලනය නිවැරදි මාවතකට යොමු කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රමුඛ කාර්ය භාරයක් බව ජනාධිපතිතුමා සමුළුවේදී පැවසීය.

    “මේ රටේ දූෂණය නැත්තේ කොතනද? පාර්ලිමේන්තුවේද, පළාත් සභාවේ ද පළාත් පාලන ආයතනවල තත්වය කුමක්ද අද. පළාත් පාලන ආයතන සියයට 90ක් ගමේ ප්‍රාදේශීය සභාව දක්වා අන්ත දූෂිතයි. ආණ්ඩුව, විපක්‍ෂයත් දෙකම පළාත් පාලන ආයතන දූෂිත බවින් තොර කරන කිසිම පිළියමක් අරගෙන නැහැ. මහ බැංකු කොල්ලයේ වග උත්තරකරුවන් මේ රටේ දේශපාලනයෙන් ඉවත් විය යුතුයි වහ වහා ඉවත් විය යුතුයි. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන්ට වැඩිය ලොකු මහත්වරුන්ට වගඋත්තරකාරයෝ විධියට උසාවියේ කුඩුවට නගින්න අවශ්‍ය ලිපිගොනුත් හදලා ඉවරයි කියන එක මම තමුන්නාන්සේලාට කියනවා.

    ඒ නිසාම මෙම පොදුජන දේශපාලන බලවේගය නැවත මතු කරගෙන සදාචාරාත්මක මෙන්ම ඓතිහාසික වගකීමක් අපේ කරපිට පැවරී තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට. අද රටට අවශ්‍ය වන්නේ අවංක, නිහතමානී, දේශපාලන වැඩපිළිවෙළක් තියෙන මිනිසුන්ට ආදරය කරන නායකයින් කියලයි මම විශ්වාස කරන්නේ. හැබැයි ලබන පත්වන ජනාධිපතිවරයා 19 වැනි සංශෝධන තත්වය අනුව කිසිවක්ම කළ නොහැකි පුද්ගලයෙක්. ඒ නිසා තමුන්නාන්සේලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරු පත්කරන්න තියෙන උනන්දුවට වැඩිය මීළඟ අගමැතිවරයා පත්කරගැනීම ගැන උනන්දුවෙන්න ඕනේ කියලා මම තමුන්නාන්සේලාට කියන්න ඕනේ. අපිට අවශ්‍ය ප්‍රගතිශීලි, මානවවාදී පුළුල් ජාතික දේශපාලන පෙරමුණක්. අද අපි පටන් ගත්තේ ලබන ජනාධිපතිවරණ තමයි අද මේ අපි පටන් ගත්තේ. අපේ ප්‍රතිපත්ති තුළ, අපේ දර්ශනය තුළ 2020 ආණ්ඩුව හදන්නේ අපියි කියන එක මම තමුන්නාන්සේලා කියනවා. ඒකට ලැහැස්ති වෙන්න. අපි යෝධ ශක්තියෙන්, යෝධ ජවයකින් පක්ෂය ගොඩනඟලා, මේ රටේ ඉදිරි මාස කිහිපය තුළ දේශපාලන පරිවර්ථනයක් කරලා විප්ලවීය සටනක් කරලා 2020 අපි තමුන්නාන්සේලාට අපිටඕන විධියට අලුත් ආණ්ඩුවක් හදමු. තමුන්නාන්සේලාට ජයවේවා, ජයවේවා, ජයවේවා“ යැයි ජනාධිපතිතුමා පැවසීය.

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 09:31

    Latest News